පොලිස්පතිවරයාට හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට සත්‍ය වෙනුවෙන් පෙනී සිටිය නොහැකි නම් නිල ඇඳුම ගලවා තබා ගෙදර යන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරයි.
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශන පිළිබඳව තමන්ට ප්‍රශ්න රාශියක් මතුව ඇති බවත්
සත්‍ය සොයනවාට වඩා කතන්දරයක් ගෙතීමට පොලිසිය උත්සහ දරන බවට අගරදගුරු හිමිපාණෝ චෝදනා කරති.
පොලිසිය එම සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන කාලයේ දර්ශන මග හැර සවස තුනෙන් පසුව දර්ශන පමණක් පරීක්ෂා කිරීම මෙම පරීක්ෂණ නොමග යැවීමට ගත් උත්සාහයක් යැයි සැකයක් මතුවන බව ද උන්වහන්සේ පැවසූහ.
තමන් වහන්සේ ප්‍රමුඛ පියතුමන්ලා එදින උදෑසන සිට ලබා ගත් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී උදෑසන 9.52කට පමණ සැක සහිත හැසිරීමක් තිබූ අයෙකු දෙව් මැඳුරු පරිශ්‍රයේ ගැවසී ඇති බවට හෙළි වූ බවද අගරදගුරු හිමිපාණෝ පැවසූහ.
“කළු පැහැයට හුරු කලිසමක් ඇදගෙන නොන්ඩි ගහගෙන වගේ ඇවිත් ඒ පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වෙනවා. වටපිට බලමින් අන්තිම බංකු පේලිය ආසන්නයෙන් පිළිම වහන්සේ අසලින් අසුන් ගන්නවා. කතෝලිකයෙකු දේවස්ථානයකට ඇතුළු වුණාම සලකුණු කරන කුරුස ලකුණ සලකුණු කළත් එය කරන්නේ වැරදියට කියලා අපි දැක්කා. යාඥා කරන්නේ නැතුව මුල්ලට වෙලා සාක්කුවෙන් යම් දෙයක් එළියට ගන්නවා. බිමට නැමිලා මොනවා ද කරනවා වගේ පේනවා. ඒ වෙලේ එතනින් පල්ලියේ සේවය කරන අයෙකු ගමන් ගන්නවා. ඒක දැකල මේ පුද්ගලයා කලබලා වෙලා ඇවිදගෙන යනවා ඉක්මනට. නොන්ඩි ගහගෙන වගේ ආවට ඔහු කලබලයෙන් දේවස්ථානයෙන් පිට වෙන්නේ හොදට ඇවිදගෙන.”
පොලිස් නිලධාරීන් සිටිනුයේ දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කිරීමට නොවන නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය සෙවීමෙන් බැහැරව අහිංසක මිනිසුන් පිට වරද පටලවා අත සෝදා ගැනීමට සූදානම් නොවන්නැයි උන්වහන්සේ අවධාරණය කරති.
පොලිසිය අත හැරුණු සාධකය බලගතු සාධකයක් යැයි තමන් වහන්සේට හැඟී යන බවද කාදිනල් හිමිපාණෝ පැවසූහ. නාඩගම්වලින් තොරව නිසි අයුරින් විමර්ශනය කරන ලෙස උන්වහන්සේ අනතුරු අඟවති.