2021 වසරේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
එය 2020 වසරේ උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 උපයා තිබේ.
එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යෑමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24%ක වර්ධනයකි. ඒ අනුව 2021 වසරේ මාස 8ක් තුළදී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීමද විශේෂත්වයකි.