ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවරදී තම දරු දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගත් ඉන්දික ගුණතිලක සම්බන්ධයෙන් පළ වන නවතම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ මෙය පවුල් ආරවුලක අවසන් ප්‍රතිඵලයක් බවයි.
සිය දිනසා ගත් ඉන්දික නැමැත්තා අධ්‍යාපනය ලැබීම සදහා ඕස්ට්‍රෙලියාවේ Curtin University ගොස් ඇති අතර එහිදී ඉගෙනුම ලබන කාලය අතරතුර සුදු ජාතික පෙම්වතිය දැන හඳුනාගෙන තිබේ. ඉන්දික කුඩා කාලයේ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ බාස්කට් බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකු වූ අතර විවිධ කතා පැවැත්වීම මෙන්ම ගීත ගායනයට එක සේ දස්කම් පෙන්වූ සමතෙකු විය. ඔහුගේ සමාජශීලී ස්වරූපය නිසා සුදු ජාතික තරුණිය ඔහු හා වසඟ වූ බව මිතුරන් සමග පවසා තිබේ.
2016 ජුනි මස ඔවුන් විවාහ වී ඇති අතර බිරිය හා බිරියගේ මව දෙන්නාම නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විවාහ වනවිට ඉන්දික 34 වැනි වියේ පසු වූ අතර විවාහය නිසා ඉන්දිකට එරටේ ස්ථිර පදිංචිය හිමිව තිබේ. ඉන්පසු ඔහු සිය නගර සැලසුම් රැකියාවෙන් ඉවත්ව තමන්ගේම අලුත් ව්‍යාපාරයකටද පිවිස ඇත.
ඉන්දික ගුණතිලකගේ පවුලට දරුවන් එක්වූ පසු ඉතා සුන්දර විය. හුරුබුහුටි දරු දෙන්නා සමග නිරන්තරයෙන් විනෝදවීමට ඉන්දික ආසා කළේය. ඔහුගේ බිරියද ඔහු සමග සමගියෙන් සිටියාය. නමුත් පසුගිය 2020-2021 වසර හා ආසන්න කාලයේදී ඔවුන් දෙදෙනා අතර ආරවුල් ඇති වී තිබෙ. ඉන්දික සමග විවාහ වනවාට මුල සිට අකමැත්තෙන් පසුවූ බිරියගේ මව නැතිනම් සුදුජාතික නැන්දණිය ඔවුන්ගේ පවුලේ ඇතැම් ප්‍රශ්නවලට අතදැමූ බව පැවසේ. මේ නිසා ඉන්දික නැන්දණිය සමග රණ්ඩු සරුවල් කරගෙන තිබේ. නීතියට සම්බන්දිත කාන්තාවක වීම නිසා තර්ක කර බේරීමටද අපහසුවූ ගැටලු තිබුණ බව ඔහු මිතුරන්ට පවසා ඇත.
යම් යම් ගැටලු මතුවන අවස්ථාවල මවගේ පැත්තට කතා කළේ ඉන්දිකගේ බිරියයි. මේ හේතුවෙන් ඉන්දික තනිවූ අවස්ථා තිබී ඇති අතර සුදුජාතික බිරිය හා බිරියගේ මව එක් පැත්තක් ගෙන රණ්ඩු කරගෙන තිබේ. සුදු නොවන ජාතිකයෙකුට තම දියණිය විවාහ කරදීමට සිදුවීම කණගාටුවන බව රණ්ඩුවට ආ මව නිරන්තරයෙන් පැවසූ බව ඉන්දික පවසා තිබුණි. ඉන්දික වෙනුවට වෙනත් අයෙකු තම දියණියට සොයාදීමටද මව උනන්දුවී තිබුණි.
ප්‍රශ්නය මෙසේ දික් ගැස්සෙද්දී, ඔවුන් දෙදෙනා එකතු වී ඉන්දිකට පහරදෙද්දී ඔහු දැඩි පීඩාවට ලක්විය. පසුගිය වසරේ අවසන් මාස ගණනාවේම ඔහු මෙම ගැටලුව ගැන කලකිරීමෙන් පසුවිය. ඒ අතර කාලයේ බිරියගේ මව බිරිය හා එක්ව ඉන්දිකගෙන් ඉවත්වීමට අදාළ නෛතික කටයුතු සූදානම් කර තිබූ අතර ඔවුන්ගේ හේතු ලෙස දක්වා තිබුණේ ‘මානසික රෝගයක් ඇති සැමියා සමග ජීවත්වීමේ අපහසුව’ යන්නයි. ඔවුන් මානසික රෝගය ලෙස නම් කර තිබුනේ ‘නාර්සිසිස්ට්’ මානසික තත්වයයි.
එනම් පුද්ගලයෙකු තමා අවට සිටින අයගේ අවශ්‍යතා නොසලකා හරින තරමට තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවයි. බොහෝ විට මෙවැනි රෝගීන් ඉතා ආකර්ෂණීය වන බවත් සෘණාත්මක හැසිරීම් නොපෙන්වන නමුත් තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවත් විස්තර කර තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දිකගේ මිතුරන් පවසා ඇත්තේ වෙනත් කතාවකි. ඉන්දික දරුවන්ට හා බිරියට බෙහෙවින් ආදරය කළ නමුත් බිරිය එම දරුවන් ගැන පසුකාලීනව උවමනාවෙන් කටයුතු නොකළ බවයි. ‘ඇයට වෙනත් අය වැදගත් වුණා. ඒ නිසා මං විතරයි දරුවන් ගැන බැලුවේ. අන්තිමට නැන්දම්මයි එයයි දෙන්නම දරුවන්ට නොයෙකුත් පීඩා ඇති කළා. නීතිය ඉදිරියට ගිහාම දරුවන් රැක බලාගැනීමට මං තීරණය කළා.’ යනුවෙන් ඔහු පවසා තිබේ.
ඉන්දිකගේ බිරිය හා මව නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය වීම නිසාම ඉන්දිකගේ බිරියගේ වෙන්වීමේ කටයුතු ඉක්මනින් ඉටුකරගන්නට ඔවුන්ට පහසු වී ඇති අතර අවශ්‍ය ලිපි ලේඛන සකසාගෙන දරුවන් ඉන්දිකට යොමු කර ඇය වෙන්වී තිබේ. නමුත් අධිකරණය ඇයට දරුවන් බලන්නට අවසර ලබාදී තිබුණි. ඉන්දික මේ කරදර මැද දරුවන් ගැන බලමින් සිටියත් ඔහුගේ විශාද රෝග තත්වය උත්සන්න වෙමින් පැවතිණි. අන්තර්ජාලයේ ෆේස්බුක්හි සක්‍රීය චරිතයක් වූ සමාජශීලී ඉන්දික එක්වරම ෆේස්බුක්ද අතහැර දමා සිටියේය. ඔහු පසුගිය දෙසැම්බරයේ යළි ෆේස්බුක් වෙත පිවිසෙන අතර පසුගිය කාලයේ ඈත්ව සිටීම ගැන සමාව ඉල්ලා සිටින අතර අනතුරුව තම මානසික ව්‍යාකූලත්වයන් ගැන කතාකරන්නේය.
ඔහු කඩා වැටිණි. ඔහුගේ රෝග තත්වය උත්සන්න විය. ළමා ජීවිත දෙකක් අහිමි කර ඔහුද දිවියෙන් සමුගන්නේ මෙම පීඩාවේ උපරිම තලයේදීය. මේ කියන පවුල් ප්‍රශ්න කවර ආකාරයෙන් විසඳාගන්නට ඉඩ තිබුනාද එසේ නොවීද යන්න දන්නේ ඔවුන්ම පමණි. නමුත් සොඳුරු අනාගතයක් හිමි ආදරණීය ජීවිත දෙකක්ද මෙම ගැටලුවට මැදිව නිරපරාදේ මැකී ගොස් තිබුණි. පර්ත් නුවරම මේ ගැන අද කම්පාවෙයි.
පර්ත් නගරාධිපති මාර්ක් මැක්ගවුන්ද මෙම කම්පිත සිද්ධිය ගැන විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කම්පාව හා ශෝකය පළ කර තිබේ.



