― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalවෙනසකට බය නොවී ජන බලවේගයට අවුරුදු පහකට රට දීලා බලන්න

වෙනසකට බය නොවී ජන බලවේගයට අවුරුදු පහකට රට දීලා බලන්න

“වෙනසකට බය නොවී ජන බලවේගයට අවුරුදු පහකට රට දීලා බලන්න”දශක හතක් පුරා අපේ ජනතාව යහපත් චේතනාවෙන් පාලකයන් බලයට පත් කළද පාලකයන්ට යහපත් චේතනා නොතිබුණු නිසා රට අද බියකරු ඉරණමකට මුහුණදී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.හෙතෙම මේ අදහස් පළ කළේ බණ්ඩාරගම රයිගම පැවැති ජනහමුවකදීය.මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීය.“මේ ආණ්ඩුවත් දැන් විකිණීම පටන් අරන්. චීනෙට පෝට්සිටිය වික්කා. ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා. හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල්, වැලිකඩ, කෙරවලපිටියේ විකුණන්න දාලා. හිටිහැටියේ ගෑස් ටැංකි පුපුරනවා. කුස්සියට ගියාම ආර්ථිකයේ තත්ත්වය පේනවා. කඩේට ගියාම වෙලා තියෙන දේ තේරෙනවා. අපිටත් දැන් කියලා ඇතිවෙලා. දැන් අවශ්‍ය මේකෙන් ගොඩඑන විදිහක් හොයන එක. ජනතාව අහනවා කවදද ආයේ ඡන්දේ එන්නේ කියලා. ව්‍යවස්ථානුකූලව නම් තව අවුරුදු තුනක් බලන් ඉන්න වෙනවා.මේකට කරන්න කරුණු දෙකක් තියෙනවා. එකක් අපි බලය ගන්න ඕන. අනෙක බලය අරගෙන රට හදන එක. රට හදන්න කියලා ජනතාව මෑත ඉතිහාසයේදී විහාරමහාදේවි, දුටුගැමුණු, පොළොන්නරුවෙ ගොවියා, මොළ හතා, රණවිරුවා ගෙනාවා වැඩක් වුණේ නෑ. රණවිරුවා ගෙනාවේ ඇමෙරිකන් මොළෙන් වැඩේ තිතටම කරයි කියලා. එයා තමයි හොඳටම කළේ. කොච්චර හොඳට කළාද කියතොත් කට්ටිය රට දාලා යන්න පෝලිමේ.අපි වෙන රටකට ගියත් වැඩක් නෑ. අපි ඒ රටේ දෙවැනි පන්තියේ අය විදිහට ඉන්න වෙන්නෙ. අපි සියලුදෙනා එක්වී වැඩ කර මහන්සි වී මේ රට හදමු. දරුවන්ගේ අනාගතය හදමු. හැමදෙනාම අහන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ කියලා. ඒ වුණාට මේ ප්‍රශ්න එකක්වත් අපිට ස්වභාව ධර්මේ දුන්නේ නෑ. අපි විහින් හදාගත්තු ඒවා. මේක අපේ රටේ පාලක පන්තිය ඇති කළ අර්බුදයක්.දීර්ඝ කාලයක් නොගැළපෙන දේශපාලන _ ආර්ථික ප්‍රතිපත්ති වැරැදි විධියට ක්‍රියාත්මක කළ නිසා අපේ රට කඩා වැටී තියෙනවා. ළිං කටින් වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ. සියලුදෙනාම ගොඩඑන ක්‍රමයක් අවශ්‍යයි.නව පාලනයක් හදන්න ඕනෑ. කිසිකෙනෙක් අබමල් රේණුවක සැකයක් තියාගන්න එපා. ජාතික ජන බලවේගයට ඒක කරන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු බහුතරය වෙනසට බයයි. එහෙත් මේ ලෝකේ වෙනස්වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසයි. වෙනස්වීම තුළින් තමයි ලෝකේ ඉස්සරහට ගිහින් තියෙන්නේ. ජනතාව ළඟ තියෙන බලය තාවකාලිකව පාලන කණ්ඩායමකට භාරදෙන එක තමයි අපි මැතිවරණයකදී කරන්නෙ. වසර කිහිපයකට දෙන්නෙ තාවකාලිකව. ජාතික ජන බලවේගයට දුන්නත් වසර පහකින් යළි අවශ්‍ය නම් ගන්න පුළුවන්.අපිට වැදගත් ඊළඟ මැතිවරණයදී බලය ගන්නේ කොහොමද කියන එකයි. අපේ අරමුණ හුදු ආණ්ඩුවක් හැදීම නොවෙයි. කඩා වැටී ඇති රට ගොඩනඟන්න ජනතා ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. යළි නූතන නිදහස් අරගලයක් කරන්න ඕනෑ. පතුලට හිඳිච්ච ආර්ථිකයක් අපේ රටේ තියෙන්නේ. බොරු නොකියා ජනතාවට ඇත්ත තත්ත්වය කියන්න ඕනෑ. මේ ආර්ථිකය ගොඩනඟන්න කෙටි කාලයක් හැමෝම එක්වෙලා මහන්සි වෙමු.ආර්ථිකය විනාශ වෙන්න ප්‍රධානම වශයෙන් බලපාන්නේ රටක පාලකයා. රටක පාලකයා හොරෙක් වුණොත් රට ඉවරයි. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබතුමාගේ ඡන්දෙට චීනෙන් දුන්න චෙක්පත් අංක මා ළඟ තියෙනවා කියලා. එතුමා ‘හ්ම්’ කියලා ඔළුව වැනුවා. පාලකයන්, දූෂිතයන් නොවන ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. මම අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ හිටියා. ඇමැති ධුරයක් දැරුවා. ඒත් සතයක් සොරකම් කරලා නෑ. දූෂණ වංචා චෝදනා නෑ.සාමූහිකව වැඩ කළ යුතුයි. දේශපාලකයා ආදර්ශවත් වෙන්න ඕනෑ. පාලකයාට වැරැදි කරන්න බෑ. මන්ත්‍රිවරුන්ට වාහන බලපත් ලබාදීම නතර කළ යුතුයි. පෙන්ෂන් අවශ්‍ය නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රිට අවුරුදු පහටම එක වාහනයක් දුන්නම ඇති. ඇමැතිවරුන්ගේ නිල නිවාස නැති කළ යුතුයි. හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම නතර කළ යුතුයි. දේශපාලකයා නීතියට යටත් කරන්න ඕනෑ. දේශපාලකයා පිළිබඳ දැන් තියෙන්නේ කැත චිත්‍රයක්. පුරවැසියන්ට ආර්ථිකයේ ප්‍රතිලාභ ගලායන්න ඕනෑ. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්න ඕනෑ.”ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස,“රට කරවන අය ගොඩගන්න බැරිවෙන්න රටේ ආර්ථික සම්පත් විකුණනවා. අපිව ණය උගුල් ඇතුළේ හිරකරනවා. මේ රට ඉදිරියේදී ඇති අභියෝගය තේරුම් අරගෙන හැමදෙනාම එකතු වෙලා එකමිටට වැඩකරමු. ශක්තිමත් කොඳුනාරටියක් නැතිව පුළුල් බහුජන දේශපාලන බලවේගයක් ඉදිරියට ගෙනියන්න බෑ. මේ රට ගොඩනැඟීමේදී එවැනි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් වුවමනා කර තියෙනවා. ඒ නිසා අපිට විවේක ගන්න කාලයක් නෑ. නිකං ඉන්න කාලයක් නෑ. හැම තත්පරයක්ම වැදගත්. අපි ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මේ පාලකයන් ආර්ථික දේශපාලන අර්බුදයකට රට හෙළනවා.” – කොළඹ ජයසිංහ (මව්බිම)