සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ දිගුවක් ලෙසින් පත් කළ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වසර කිහිපයක සිට මෙම ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන කාර්යය මූලික බුද්ධ භාෂිතයට හානියක් හෝ අර්ථ විපරීතයක් සිදු නොවන අයුරින් පුනරුක්ති රහිතව සිදුකර ඇත.සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අංක 20 සිට 27 දක්වා සිංහල මහානිද්දේස පාළි, සිංහල චූල්ලනිද්දේස පාළි, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි – 1, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි – 2, සිංහල ථේර අපදාන පාළි – 2, සිංහල ථේරී අපදාන පාළි – 2, සිංහල බුද්ධවංස පාළි හා චරියා පිටක පාළි යන ග්‍රන්ථ 07 මෙලෙස ජනගත කෙරිණි.ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩල සාමාජික රාජකීය පණ්ඩිත – අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු වැඩම කළ මහා සංඝරත්නයට මෙම ග්‍රන්ථ පිළිගැන්වූයෙමි.
මෙම පරිවර්තන ග්‍රන්ථ 07න් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ග්‍රන්ථ 33 කින් සංගෘහිත සූත්‍ර පිටකයේ නිමාව සනිටුහන් වේ.බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සිංහල පරිවර්තනය ඉතා නිවැරදි වුව ද සාමාන්‍ය පාඨකයාට එහි බස් වහර ඉතා ගැඹුරු වූ හෙයින් සරල සුගම බසින් එම ග්‍රන්ථ නැවත සම්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංෂිප්ත සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව එළිදැක්විණි.ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සභාපති කොළඹ 10 මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජික ස්වාමීන් වහන්සේලා වන රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති නාහිමි, මහාචාර්ය අතිපූජ්‍ය කිවුලේගෙදර නාරද අනුනාහිමි, මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (අතිරේක) කේ.පී. සිරිබද්දන, බෞද්ධ කටයුතු කොමසාරිස් වසන්ත ලියනගේ, ත්‍රිපිටක මණ්ඩලයේ ලේකම් කේ.කේ. සුගතපාල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.









