― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය

මෙවර 2022 ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා වැඩකරන ජනතාව හා පීඩිත ජනතාව විසින් සමරනු ලබන්නේ ධනවාදී ක්‍රමය ලෝක මට්ටමින් අර්බුදයට ගොස් සමාජයේ ගැඹුරු සමාජ පරිවර්තනයක් ඉල්ලමින් තිබෙන අවස්ථාවකය.

1886දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා සටන් වැදුනු චිකාගෝ නුවර කම්කරු අරගලගයත්, එම අරගලයේදී දිවි පිදූවනුත් සිහි කරන දිනය ලෙස මැයි දිනය සැලකේ. ලොව පුරා වැඩකරන ජනතාව සිය සටන්කාමීත්වයත් සිය අනාගතයේ ඉරණම තමන් අතට ගැනීමට ඇති සූදානමත් පෙන්වමින් ප්‍රතිගාමීත්වයට එරෙහිව සටන් වදිමින් මැයි දිනය සමරති. ජාත්‍යන්තර කම්කරු දිනයේ සැබෑ අරුත වන්නේ සකලවිධ සූරාකෑමට හා පීඩනයට එරෙහිව වැඩකරන ජනතාව ඇතුලු ජනතාවාදී පාලනයක් වෙනුවෙන් බලවේග සූදානම් කිරීමය.

ලංකාවේ වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ, ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ මෙතෙක් හටගෙන තිබෙන විශාලතම ආර්ථික හා දේශපාලන අර්බුදය දකිමින් සිටියෙදීය.

ලංකාවේ වත්මන් පාලනය හා 74 වසරක් තිස්සේ පවත්වාගෙන ආ සමාජ ආර්ථික ක්‍රමය දැන් මුළුමනින්ම අසාර්ථක වී රට ආර්ථික වශයෙන් බංකොලොත් කරනු ලැබ තිබේ. ජනතාවගේ අත්‍යාවශ්‍යම වුවමනාවන් වන ආහාර, ඖෂධ, ඉන්ධන, විදුලි බලය වැනි දේ සැපයීමට පවා වර්තමාන පාලනය අසමත්ව ඇත. පාලනයකින් තොරව දිනපතා ඉහළ යන බඩු මිල නිසා වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව අතිවිශාල පීඩාවකට ලක්ව සිටිති. කෘෂිකර්මාන්තය විනාශ කර ගොවියා දිවි නසාගන්නා තත්වයට පත්කර තිබේ. තරුණ පරපුරට ඇත්තේ අනාගතයක් නැති රටකි. තෙල් නැවකට, ගෑස් නැවකට, ආහාරවලට මුදල් ගෙවා ගැනීමට නොහැකි මට්ටමේ විදේශ විනිමය අර්බුදයකට රට පත්කරනු ලැබ ඇත. වැරදි ආර්ථික ප්‍රතිපත්ති, ආණ්ඩුවල නාස්තිය, වංචාව, හොරකම මීට ප්‍රධාන හේතු වී තිබේ.

මේ තත්වය මත දැන් මෙරට සියලු ජනතාවෝ මහ මඟට බැස සටන් කරන්නට පටන්ගෙන සිටිති. ඒ, ජනාධිපති ඇතුළු වත්මන් පාලනයට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමිනි. එසේම 74 වසරක සාපය නිමා කළ යුතු බවද සියලු ජනතාවෝ එකහඬින් කියති. එපමණක් නොව මහජන මුදල් හොරකම් කළ සියලු හොරුන්ට දඬුවම් කළ යුතු බවත් හොරා කෑ මහජන ධනය යළි පවරාගත යුතු බවත්, ඒ සඳහා හැකියාව ඇති නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතු බවත් වැඩකරන ජනතාව ඇතුළු සියලු ජනයා ප්‍රකාශ කරති.

විවිධ ඇස්බැන්ඳුම් හා උප්පරවැට්ටි මගින් තවදුරටත් බලයේ සිටීමට වර්තමාන පාලකයන් දරන උත්සාහය කිසි ලෙසකින් හෝ පිළිගැනීමට වැඩකරන ජනතාව සූදානම් නැති බවත්, වර්තමාන පාලනය පලවා හරිනතුරු සටන් කිරීමට තමන් සූදානම් බවත් මේ වනවිටත් වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනයා විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. පසුගිය අප්‍රේල් 28වැනිදා පැවති ඉතාමත් සාර්ථක එක්දින සමස්ත මහා වැඩ වර්ජනය හා උද්ඝෝෂණය ඊට හොඳම නිදසුන වේ.

එබැවින් රටක් විනාශ කළ එම විනාශකාරී මාවතේම තවදුරටත් අගාධය කරා රට ඇදගෙන යන බලලෝභී රාජ්‍ය පාලනයත්, වසර 74ක තට්ටුමාරු ක්‍රමයත් වහාම පරාජය කොට රට හදන ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා ධෛර්යෙන් සටන් වැදීම මෙම මැයි දිනයේ වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු ජනතාවගේ අධිෂ්ඨානය විය යුතුය. රට වැනසූ ප්‍රභූ පංතියේ දූෂිත පාලනය පරාජය කිරීමෙන් තොරව සහ වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු ජනතාවගේ පාලනයක් ගොඩනැගීමෙන් තොරව වර්තමාන ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට නොහැකි බව අවධාරණය කරන අපි, ජන පීඩක දූෂිත මිනීමරු පාලනය හැකි ඉක්මනින් පලවා හැරීමටත් තට්ටුමාරු දේශපාලනය නතර කිරීමටත් රට හදන, වංචා දූෂණ නැති, හොරුන්ට දඬුවම් දෙන, හොරා කෑ ධනය යළි පවරා ගන්නා, සහෝදරත්වය, සමූහිකත්වය සහිත නව ජනතාවාදී පාලනයක් ගොඩනැගීමටත් එක්වන ලෙස මෙම මැයි දිනයේදී වැඩකරන ජනතාව ඇතුළු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය,
ජනතා විමුක්ති පෙරමුණ.
2022 මැයි 01 කොළඹදී