― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅනුරාධපුර රෝහලෙන් තවත් විශ්මකර්ම සැත්කමක්

අනුරාධපුර රෝහලෙන් තවත් විශ්මකර්ම සැත්කමක්

නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ විශ්මකර්ම සැත්කමක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය විසින් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ රජයේ මෙවැනි ශල්‍යකර්මයක් කළ පළමු රෝහල අනුරාධපුර ශික්ෂණ රෝහලේ වන අතර මෙය එම කණ්ඩායම විසින්ම සිදුකරන ලද තෙවැනි සාර්ථක සැත්කමයි.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකි. ඔහුගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් ඉතා සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්වූහ.

සාමාන්‍යයෙන් මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා) පත්කරනු ලබන නමුත් මෙම ශල්‍යකර්මයේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation) සිටියදී මෙම සැත්කම සිදුකිරීම මෙහි විශේෂත්වයයි.

එමෙන්ම මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත, කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත්, සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතරතුරම ගෙඩිය ඉවත් කිරීමට හැකියාව ලැබීමයි.

මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත්කරමිනි.

ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් නික්ම ගොස් තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස්, වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම්, වෛද්‍ය විශාඛා කර්නර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම අපූරු සැත්කම සිදු කර තිබේ.