බිරිඳව ඝාතනය කර නිවස පිටිපස වළ දැමූ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් – නිරාවිපිට්ටි ප්‍රදේශයෙන් ඝාතකයා පලා ගොස් සිටියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පුද්ගලයා විසින් 23 හැවිරිදි සිය බිරිඳව ඝාතනය කර නිවස පිටිපස කොටසක වළ දමා ඇති බවටත් පොලිසිය සොයාගත්තා. මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දූරකථනයෙන් කථා කොට ඇති අතර දියණියගෙන් දින ගණනාවක සිට කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් තිබෙනවා.
එහිදී දියණිය කුලී පදනම මත රැඳී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට බවයි පෙනී ගොස් ඇත්තේ. දියණියගේ දුරකථනයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා පරීක්ෂා කර තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
දියණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මව මුල්ලියාවෙලි පොලිසිය වෙත දැනුම් දී ඇත්තේ ඉන් පසුවයි.
ලද පැමිණිල්ල මත පුළුල් විමර්ශනයක් කළ මුල්ලියාවේලි පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැඳී සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සැකකරු අදාළ කාන්තාව ඝාතනය කොට වල දමා තිබූ ස්ථානය හඳුනාගැනීමටත්, මෘත ශරීරය අධිකරණ නියෝග පරිදි ගොඩගැනීමටත් තීරණය කෙරුණේ ඉන්පසුවයි.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රදේශවාසීන් පැවසුවේ මියගිය කාන්තාව හා ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර කලෙක පටන් දෙදෙනා අතර යම් යම් ආරවුල් පැවති බවට ආරංචි පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරනවා.




