― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot News2024 අයවැය ඉදිරිපත් කිරීම නොවැම්බර් 13 වැනිදා

2024 අයවැය ඉදිරිපත් කිරීම නොවැම්බර් 13 වැනිදා

පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සඳුදා දහවල් 12ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළවී තිබෙනවා.

මේ අනුව 2023 නොවැම්බර් මස 07 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා. පෙරවරු 10.3ට දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත අතර 10.30 සිට පස්වරු 5.00 දක්වා ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා (ප්‍රශ්න දෙකක්) කාලය වෙන් කර තිබෙනවා. නොවැම්බර් මස 08 වන බදාදා පෙරවරු 09.30 සිට 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) සඳහා කාලය වෙන් කර ඇති අතර 10 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහායි කාලය වෙන් කර ඇත්තේ.

ඉන්පසු 10.30 සිට පස්වරු 5 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත් වෙනවා. 09 වනි බ්‍රහස්පතින්දා 09.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරුව 10.30 සිට පස්වරු 5 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව 2023 මුදල් වර්ෂය සදහා රුපියල් බිලියන 231.5කට අදාළව අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ද ඉදිරිපත් කිරීමට නියමිතවයි. ඉන්පසු පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සඳහා කාලය වෙන් කර තිබෙනවා.

10 වන සිකුරාදා පෙරවරු 09.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතයි. අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා.

විවාදයෙන් අනතුරුව පස්වරු 5 සිට 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

අයවැය විවාදය

ඉන්පසු එළඹෙන නොවැම්බර් 13 වැනි සදුදා දහවල් 12ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ. ‍එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා දා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6 ට පැවැත් වෙනු ඇති.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම පස්වරු 6 සිට 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනවා.