― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරටට අහිතකර කොන්දේසි සමඟ ලංවිම - අදානි අත්වැල් බැඳගනී?

රටට අහිතකර කොන්දේසි සමඟ ලංවිම – අදානි අත්වැල් බැඳගනී?

මෙරටට අහිතකර වාණිජ කොන්දේසි රැසක් සමගින් ඉන්දීය අදානි සමාගම සමග විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළැඹීමට සූදානම් වන බවට විදුලිබල වෘත්තීය සමිති චෝදනා කරනවා.

මන්නාරම සහ පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතිවලට අදාළ අදානි සමාගමේ යෝජනාව විදුලි බල අමාත්‍යාංශයට පසුගිය සිකුරාදා ලැබී තිබුණා.

ඒ අනුව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම වසර 30ක කාලයක් සඳහා විය යුතු බවට එමගින් යෝජනා කර ඇති අතර, විදුලි ඒකකයක් සඳහා මිල සටහන් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ශත 14ක් ලෙසින්.

කෙසේවෙතත් අද පවතින විනිමය අනුපාතිකයට අනුව විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් මිල දී ගත යුත්තේ රුපියල් 45.95ක මිලකට යි. නමුත් දැනට ක්‍රියාත්මක සුළං විදුලි බලාගාරවලින් විදුලිබල මණ්ඩලය විදුලිය මිල දී ගන්නේ ඒකකයක් රුපියල් 13.13ක අගයකට වීම අදානි ගනුදෙනුවේ ඇති මූල්‍ය අවාසිය වඩා හොඳින් ඉස්මතු කර පෙන්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය අදානි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට සැරසෙන්නේ මේ වන විට වෙළෙඳපොලේ පවතින මිලට වඩා තුන්ගුණයකටත් වැඩි මිලකටයි. ඊට අමතර ව ගෙවීම් සහතකියක් ලෙස රාජ්‍ය ආයතනයක කොටස් අයිතිය ද අදානි සමාගම ඉල්ලා ඇතැයි ද සඳහන්.

ඒ සමාගම විසින් ඉල්ලා ඇති බදු නිදහස් කිරීම්වලට අමතරවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෙම කොන්දේසි සියල්ල මෙරටට අතිශයින්ම අවාසිසහගත බවයි.

කෙසේ වෙතත් තත්ත්වය එසේ තිබියදී මෙම යෝජනාව අනුමත කරන ලෙස විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික කමිටුවට මෙරට දේශපාලන බලාධිකාරිය හරහා දැඩි බලපෑමක් සිදු කරමින් ඇති බවටත් ඔවුන් චෝදනා කරනවා.

දැනට වාර්තා වන ආකාරයට ලබන 14 වැනිදා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමටයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රමුඛ බලධාරීන් සැලසුම් කර ඇත්තේ.