උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබාදෙන බවට චීන තානාපති කාර්‍යාලය පොරොන්දු වී තිබෙනවා.
උතුරේ නිල සංචාරයකට එක්වෙමිනුයි මෙරට චීන තානාපති කී සෙන්හොන් මේ බව පැවසුවේ.
යාපනය, මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කරමින්, සිය දූත පිරිස සමග චීන තානාපතිවරයා එම කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව සොයා බැලුවා.
එහිදී ආගමික නායකයන් සේ ම ආගමික සිද්ධස්ථාන ද නිරීක්ෂණය කිරීමටයි චීන තානාපතිවරයා කටයුතු කළේ. චීන තානාපතිවරයා විසින් උතුරේ ධීවර ප්‍රජාවට වියළි ආහාර ද්‍රව්‍ය සහ ධීවර ආම්පන්න ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.
එමෙන්ම යාපනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ද චීන තානාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී යුද හමුදාවේ සහභාගීත්වයෙන් මන්නාරමේ නැවත පදිංචි ධීවර පවුල් වෙනුවෙන් ද වියළි ආහාර මළු ප්‍රදානය කිරීමක් සිදු කෙරුණා.
චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියේ දී තවත් සහන රැසක් සමගින් ලබාදීමටයි චීන තානාපතිවරයා මෙහිදී උතුරේ ප්‍රජාවට එකඟ වූයේ.





