― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකටුනායක ගුවන්තොටේ මගී තදබදයට විසඳුමක්

කටුනායක ගුවන්තොටේ මගී තදබදයට විසඳුමක්

කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සඳහා විසඳුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර(Self Check – in) 08 ක් සහ ස්වයං සේවා ගමන් මළු භාරදීමේ යන්ත්‍රයක් (Bag Drop) ස්ථාපනය කර තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද උදෑසන 10.30ට මෙම යන්ත්‍ර පෙළ ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී ස්ථාපිත කිරීම සිදු වූ බවයි.

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සිය අරමුදල් ආයෝජනය කර තිබෙනවා.

ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර මගින් ගුවන් මගීන්ට තම ආසන තෝරා ගැනීම (Seat Selection), ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කර ගැනීම (Boarding Pass Printing) සහ ගමන් මළු ටැග් පත මුද්‍රණය (Bag Tag Printing) කර ගැනීම යන කාර්යයන් තුන ඉටුකර ගත හැකියි.

ඉන්පසු එම ගුවන් මගීන් ස්වයං සේවා ගමන් මළු භාරදීමේ (Bag Drop) යන්ත්‍රය වෙත ගොස් ගමන් මළු භාර දීම සිදු කර ආගමන විගමන නිෂ්කාශන කටයුතු සදහා පිටත්ව යා හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතිය මගින් ගුවන් මගීන්ට විනාඩි 05 ක් වැනි කෙටි කාලයක් තුළ සිය ගුවන්තොටුපොළ රාජකාරී නිමා කර අදාළ ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව හිමි වනු ඇති.

මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර පහසුකම දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් මගීන්ට පමණක් හිමි වන අතර ඉදිරි කාලයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන අනෙකුත් ගුවන් සේවා සඳහාද ව්‍යාප්ත කිරීමට නියමිතයි.

මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මසකට කටුනායක ගුවන්තොටුපොළ තුළ ගුවන් මගීන් 550,000 ක් සහ ඔවුන්ගේ ගමන් මළු මෙහෙයුම් කටයුතු සිදු කරනවා.