රේගු ආදායම් අධීක්ෂණ ඒකකය මගින් විෂ මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද දහවල් 12.30ට පමණ ඔරුගොඩවත්ත ආදායම් අධීක්ෂණ ඒකකයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේදී මෙම විමර්ශනය සිදු කළ බවයි.
නීතිවිරෝධී අයුරින් පාර්සලයක් සූක්ෂ්ම අයුරින් සකසා මෙරටට එවා ඇති අතර එහි තිබී කුෂ් නමැති විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සොයා ගැනුණා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ මෙම පරීක්ෂාවේ දී හෙළි වූයේ මෙම විෂ මත්ද්‍රව්‍යවල තක්සේරු මිල රුපියල් මිලියන 60කට ආසන්න බවයි.
මේවා කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති බවත් සඳහන්. මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතවරයෙකුද රේගුව සිය භාරයට ගැනුණා.
නීතිවිරෝධී මෙම කුෂ් පාර්සලය සහිත බහාලුම මෙරටට පසුගිය මාසයේ 25 වැනිදා ලැබී ඇති අතර නිලධාරීන්ට ඇති වූ සැකයක් මතයි එය පරීක්ෂා කර ඇත්තේ.
එහිදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය සූක්ෂ්ම අයුරින් අසුරා තිබූ බවත් පසුව බහාලුම ඔරුගොඩවත්ත පර්යන්තය වෙත යැවූ බවත් අද දින සියලු විමර්ශන කිරීම් සහ තක්සේරු කිරීම් සිදු කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකා රේගුව මීට අමතරව පසුගිය මාස 03ක කාලයක් තුළ හෂීස් සහ කුෂ් ආදී තහනම් විෂ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීමේ දී ම සිය භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.
මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.