― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කෙරේ

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කෙරේ

කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂක ඉංජිනේරු එන්. සුදාකරන් පවසනවා.

ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු වාන් දොරටු විවෘත කළ බවයි වාරි ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ.

ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ජලාශයේ ඇළ මාර්ග දෙපස ජනතාවට අවදානයෙන් පසුවන ලෙසට කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

කිලිනොච්චිය, පරන්තන්, පූනකරි ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ රැසක ගොවි ජනතාව කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය ලබාගෙන වගා කටයුතු සිදු කරනු ලබනවා.

පසුගිය සමයේ පැවති නියඟය හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව ඉතා පහළ අගයක පැවති අතර 2023 වර්ෂයේ පළමු වතාවටයි ජලාශයේ වාන් දොරටු මෙලෙස විවෘත කර ඇත්තේ.

මේ අතර මෙම වසරේ දෙවැනි වතාවට දඹුල්ල කණ්ඩලම ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීන් පවසනවා. කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පවතින අධික වර්ෂාව නිසා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ල ද මේ වන විට ජලයෙන් පිරී යමින් පවතිනවා. පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි 98000ක් ද, මින්නේරිය වැව අක්කර අඩි 86000ක් ද, ගිරිතලේ ජලාශය අක්කර අඩි 16000ක් ද, කවුඩුල්ල ජලාශය අක්කර අඩි 80000ක් ද, මොරගහකන්ද ජලාශය අක්කර අඩි 401930ක් ද ලෙස පිරී ගොස් ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරු අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඉහළ පෝෂක කලාපයට ඇද ඇලෙන වර්ෂාවත් සමගම ඊයේ සවස සිට කලාවැවේ වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරි ඉංජිනේරුවන් කටයුතු කර තිබෙනවා.

ඊයේ සවස අඩි 2ක් පමණ විවෘත කෙරුණු වාන් දොරටු අද උදෑසන 10 වන විට අඩි 13ක් දක්වා විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 12600ක ජල ධාරිතාවක් කලා ඔයට නිකුත් කෙරෙනවා.

ඒ හේතුවෙන් කලාඔය දෙපස පහත බිම් වල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසටයි බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.