― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බවයි ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සඳහන් කළේ.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහාද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇති.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මකයි.

දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරෙනවා.

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර හා පසු පිටතින් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇති.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ අතර 2023 වසරේදී ද ජනතාව වෙනුවෙන් කඩිනම් සහ පුළුල් සේවාවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල කටයුතු කළ බව එහි ලේකම් සරත් කුමාර ප්‍රකාශ කළා.

2022 වසරේ අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342ක්.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු කර අවසන්ව තිබෙනවා. ඒ සඳහා ගෙවන ලද මුදල රුපියල් මිලියන 844.7ක්.

එසේම 2022 වර්ෂයේදී අපොස (සා පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා සහනයක් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 30 දෙනෙකු බැගින් දිවයින පුරා අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් තෝරාගෙන මසකට රුපියල් 5000 බැගින් මාස 24ක් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සෑම මසකම රාජකාරී සිදු කරන පළමු දින දෙක තුළ එම සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඒ බව කෙටි පණිවිඩයක් (SMS) මගින් දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. දැනට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මාසික වාරික 10ක් ලබාදී තිබෙනවා.

එසේම මෙවර අපොස (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 50 දෙනෙකු බැගින් අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් තෝරාගෙන මසකට රුපියල් 6000 බැගින් මාස 24ක් පුරාවට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මේ අතර පසුගිය වර්ෂ දෙකෙහි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ දිවයිනේ ඉහළ සමාර්ථ ලබාගත් සිසුන් දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමින් තෝරාගෙන එම සිසුන් සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 31.5ක මූල්‍යමය ආධාර ලබාදී ඇති බව සඳහන්.