විවිධ පුද්ගලයින් සහ ගුරුවරුන් විසින් විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට එක් කරන්නේ උපකාරක පන්ති සඳහා වැඩි වශයෙන් සිසුන් ගෙන්වා ගැනීමේ අරමුණින් දැයි යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සිද්ධියට අදාළව චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
උසස් පෙළ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට නිකුත් වී ඇති බවට තහවුරු වූ බැවින් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පසුගියදා පියවර ගත්තා.
ඒ අනුව මෙම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට එක් කිරීමේ සිද්ධියට අදාළව අම්පාර ප්‍රදේශයේ පාසලක 52 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් අතර මෙම ගුරුවරයා උපකාර පන්තිද පවත්වාගෙන යන අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අත් අකුරෙන් ලියන ලද කෘෂි විද්‍යාව 2 වන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම පළමු බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක්ද සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී සොයා ගෙන ඇති අතර මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන්නේ එම ප්‍රශ්න පත්‍රයද පිටවී ඇති බවටයි.