― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකථානායක හා නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

කථානායක හා නව ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබෙනවා.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට සුබ පැතුම් එක් කළ කථානායකවරයා, ශ්‍රී ලංකාව සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළේය.

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සියලු ආධාර පිළිබඳව තමන් කෘතවේදී වන බවයි කථානායකවරයා එහිදී පැවසුවේ.

මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ කාලය පිළිබඳ මතකයන් සිහිපත් කළ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, පෙර පැවති තත්ත්වය තුළ දැවැන්ත වෙනස්කම් නිරීක්ෂණය කිරීමට තමන්ට හැකි වූ බව සඳහන් කළේය.

දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

ඩිජිටල් ඉන්දියා වැඩසටහනේ සාර්ථකත්වය සහ ඉන් ඉන්දියාවට අත්වන ප්‍රතිලාභ පිළිබඳව ඉන්දීය කොමසාරිස්වරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ආයෝජන සිදුකිරීමට ඉන්දියාව සූදානම් බවත් එමගින් දෙරටටම ප්‍රතිලාභ හිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්‍ෂේත්‍රය දියුණු කිරීමට සහය වන ලෙස කථානායකවරයා මෙහිදී නව මහ කොමසාරිස්වරගෙන් ඉල්ලා සිටි අතර පසුගියදා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දියාවේ යටිතල පහසුකම්වල ශීඝ්‍ර සංවර්ධනය දැක බලා ගැනීමට හැකි වූ බවද කතානායකවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ කථානායකවරයා ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ සහභාගිත්වය ඉහළ නැංවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ද කරුණු පැහැදිළි කළේය.

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් වැඩි කිරීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව ද මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.