― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩයනාට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබාදුන්නා.

අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා සෑම දිනයක් පාසාම මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය විසින් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය පෙබරවාරි මස 12 වනදා සහ 13 වනදා පැවැත්වීමට ද දින නියම කළා.

ඒ අනුව මෙම අභියාචන පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට වැඩ කරන දින 07ක් තුළ ගොනුකිරිමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් වගඋත්තර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට නියෝග කර සිටියා.

ප්‍රති විරෝධතා තිබේනම් එතැන් පටන් දින 03 ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කරනු ලැබුවා.

පෙත්සම අද දින සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව සඳහන් කළා.

“ඇයට ශ්‍රී ලංකා පුරවැසිභාවය මෙන්ම ද්විත්ව පුරවැසිභාවය පවා නොමැති තැනැත්තියක්. ඇයගේ විදේශ ගමන් බලපත්‍රයේ පවා සදහන් කර ඇත්තේ ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් ලෙසයි.” බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් ලෙස ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

විනිසුරු අචල වෙංගප්පූලි ප්‍රශ්නයක් මතු කරමින් වග උත්තරකාරියට විදේශ ගමන් බලපත්‍රය කීයක් තිබෙනවාදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දුන් නීතිඥවරයා ඇයට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දෙකක් සහ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබෙන බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දෙක අතුරින් එකක් රාජකාරි විදේශ ගමන් බලපත්‍රයක් වන අතර අනෙක රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් බවත් නීතිඥවරයා සඳහන් කළා.

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රශ්නයක් යොමු කරමින් වග උත්තරකාරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන නුසුදුසුකම කුමක්දැයි විමසුවා.

“මෙම තැනැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක්. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ඇයට මෙරට පාර්ලිමේන්තුට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇයට සුදුසුකමක් නෑ. ඇයගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය තහවුරු කරන කිසිදු ලේඛනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමටත් ඇය අපොහොසත් වී තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා අපගේ පුරවැසි පනතට අනුව යම් ශ්‍රී ලාංකික පුරවැසියෙකු විදේශීය රටක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යන බවත් සඳහන් කර සිටියා.