තම නිවස අසළ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙක් ගෙල සිරවීමෙන් ඊයේ (11) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් නුවරඑළිය, මාගස්තොට, කටුමාන ප්‍රදේශයේ පදිංචිව සිටි ශිවකුමාර් දිලක්ෂන් නැමැති 12 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම පාසල් සිසුවා ඊයේ සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් ගැට ගසා සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ රෙදි කැබැල්ලට සිසුවාගේ ගෙල සිරවීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අප වාර්තාකරු පැවසුවේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ බාල දරුවා මෙසේ මියගොස් ඇති අතර තම බාල සහෝදරයා සෙල්ලම් කිරීමට ගොස් නැවත නිවසට නොපැමිණි නිසා ඔහුගේ වැඩිමල් සොහොයුරිය නිවස අසළ ඔහු සෙල්ලම් කළ ස්ථානයට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී ඇය දැක ඇත්තේ ගසෙහි බැඳ තිබූ රෙදි කැබැල්ලේ තම සහෝදරයාගේ ගෙල සිර වී ඇති ආකාරයයි.
දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිසුවාගේ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.





