යතුරුපැදියෙන් ගොස් විවිධ ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන අඹුසැමි යුවළක් කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුක්තියේ මෙහෙයුමට සමගාමීවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
ඒ අනුව ඊයේ (15) කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් නො.333, හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ කළ සෝදිසි කිරීමකදී 30 හැවිරිදි හඹරාදුව වල්ගමගේ රසික සම්පත් නැමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 425 ක් සොයාගෙන තිබෙනවා.
මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරු විසින් වට්ස්ඇප් මගින් දැනුම්දෙන ස්ථානයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙනු ලබන බවත් සැකකරු විසින් ඔහුගේ යතුරුපැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල ඉතා සූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුගේ බිරිඳ වන 25 හැවිරිදි චතුරිකා සඳමාලිගේ නමින් පවතින බැංකු ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රුපියල් 15,000ක් බැර කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
පොලීසිය විසින් සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.