― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහොර අරක්කු නිසා රජයට බිලියන 150ක පාඩුවක්

හොර අරක්කු නිසා රජයට බිලියන 150ක පාඩුවක්

මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතන කීපයක් පවතින ක්‍රමවේදයට සම්පූර්ණයෙන් පටහැනිව මත්පැන් නිෂ්පාදනය කොට බෙදා හැරීම හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 150 කට අධික බදු ආදායමක් අහිමි වන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අජිත් උඩුගම පැවසුවේ ඒ අනුව දළ වශයෙන් දිනකට රජයට අයවිය යුතු බදු මුදල් රුපියල් මිලියන 500 ක් පමණ අහිමි වන බවයි.

මේ ආකාරයෙන් නීති විරෝධීව නිපදවන මත්පැන් නිෂ්පාදන දෛනිකව විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට පැමිණෙමින් තිබියදී එම බදු මුදල් අයකර ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකර මුදල් අමාත්‍යංශය පසුගියදා මත්පැන් බලපත්‍ර මිල සියයට තුන්දහස් තුන්සියයකින් වැඩි කළා. අපි ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එවිට ඒ තීරණය ආපස්සට ගත් නිසා අපි සුපුරුදු විදිහටම පසුගිය ජනවාරි මාසයේ ගාස්තු ගෙවලා බලපත්‍ර අලුත් කළා. නමුත් රජය නැවතත් ඉතාමත් අසාධාරණ ආකාරයෙන් පෙබරවාරි මාසයේ බලපත්‍ර ගාස්තු සියයට සියයකින් වැඩි කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 03 ක්ව පැවති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 06 ක්, ලක්ෂ 04 බලපත්‍ර ගාස්තුව ලක්ෂ 08 ක්, ලක්ෂ 06 ක බලපත්‍ර ගාස්තුව ලක්ෂ 10 ක් ආදී වශයෙන් වැඩි කළා. ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභා ප්‍රදේශ වශයෙන් මේ ගාස්තු වැඩි වෙනවා. ඒක ඉතාමත් නීති විරෝධීයි. ශ්‍රේෂ්ඨාධිකරණය 2015 වසරේ තීන්දුවක් දුන්නා මුදල් ගෙවා බලපත්‍ර ලබා ගත් පසු නැවත ගාස්තු වැඩි කිරීමක් කරන්න බෑ කියලා. නමුත් ඒ තීන්දුවට පටහැනිව තමයි සුරාබදු දෙපාර්තමේන්තුව මේ බලපත්ර ගාස්තු වැඩි කළේ. මාසයක් ඇතුළත හිඟ මුදල ගෙවන්න කියලා අපිට ලියුම් එවලා තියෙනවා. අපි ඊට විරුද්ධව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් දාලා තියෙනවා 46/2024 හා 47/2024 නඩු අංක යටතේ. ඊට එරෙහිව තවත් නඩුවක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනවා.

ආණ්ඩුව දැන් තවත් මත්පැන් බලපත්‍ර 600 ක් අලුතෙන් දෙන්න කටයුතු කරගෙන යනවා. මත්පැන් බලපත්‍ර දුන්නට විරෝධයක් නෑ. නමුත් පවතින පිළිගත් නීතිමය ක්‍රමවේදවලට පටහැනිව තමයි මේක කරන්න යන්නේ. රජයට ඉතාමත් කිට්ටු දේශපාලඥයින්ට තමයි මේ බලපත්‍ර දීලා තියෙන්නේ. දැන් ඡන්දෙත් එනවනේ ඡන්දෙට වියදම් කරන්න තමයි දේශපාලඥයෝ මේ බලපත්‍ර ව්‍යාපාරිකයින්ට විකුණන්නේ කියලා අපි හිතනවා. දැන් මේ බලපත්‍රයක් දෙන්නේ රුපියල් කෝටි 06 ක් වගේ මුදලකට. බලපත්‍ර නිකුත් කළාට අපි විරුද්ධ නෑ නමුත් මේ බලපත්‍ර ලබා දෙන ක්රමවේදයට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 03 ක් ගොනු කරලා තියෙනවා. ඒ නිසයි මේ මත්පැන් අලෙවිහල් විවෘත කිරීම පමා වෙලා තියෙන්නේ.

මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වසරකට රුපියල් බිලියන 217 ක් මුදලක් තමයි ආදායම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පසුගිය වසරේ ආදායම වුනේ රුපියල් බිලියන 171 යි. මේ ආදායම වැඩි කරගන්න විදිහ අපි සුරාබදු දෙපාර්තමේන්තුවට යෝජනා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පෙර තිබූ පරිදි අලෙවිය මත ආදායම අය කර ගැනීමේ ක්‍රමය, බදු නොගෙවා නීතිවිරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් හා රා සඳහා බදු අය කර ගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කළොත් අපේ බලපත්‍ර ගාස්තු වැඩි නොකර විශාල මුදලක් වාර්ෂිකව හොයන්න පුළුවන්. අපි මේ පිළිබඳව තොරතුරු සියල්ල ලබා දුන්නත් සුරාබදු දෙපාර්තමේන්තුව ඒ සඳහා කිසිම උනන්දුවක් නෑ.

නීතිවිරෝධීව නිෂ්පාදනය කරන රා ඇතුළු මත්පැන් නියමිත ප්‍රමිතියට නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා කාරක පවා ඒ සඳහා යොදනවා. මේවා මිනිස් ශරීරයට සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. ඒත් මේවා නවත්තන්න වගකිව යුත්තන්ට උනන්දුවක් නෑ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වනවිට බලපත්‍ර සහිත මත්පැන් අලෙවිය සියයට පනහකටත් වඩා ඉතාමත් පහත වැටිලා තියෙන්නේ. දිනෙන් දින අසාමාන්‍ය විදියට බදු අය කරන නිසා මත්පැන් මිල සාමාන්‍ය ජනතාවට දරන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. හැබැයි නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉතාමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා. තව ටික කලකින් මේක අපේ රටේ සෞඛ්‍ය අංශවලටත් දරාගන්න බැරි තරම් ගැටලුවක් වෙන එක නම් අනිවාර්යයයි.”