― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත් දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘සංහිඳියාව සඳහා ආගම්’ ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

ලබන සතියේ දී ද්‍රවිඩ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මුණ ගැහිලා පිළිබඳ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක හමුදාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ඔවුන් එකඟව තිබෙනවා. අපට මේ අන්දමින් ඉදිරියට යා හැකියි. අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලුවක් නැහැ.

ඒ සමඟම පළාත් අධ්‍යාපන මණ්ඩලය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප දැනට සාකච්ඡා කරගෙන යනවා. එහිදී සෑම පළාතකම පළාත් වෘත්තීය පුහුණු ආයතන ඇති කිරීමට අප යෝජනා කර තිබෙනවා. ඒ වගේම සංචාරක මණ්ඩලයක් වගේම කෘෂිකර්ම නවීකරණය සඳහා පළාත් මට්ටමේ කමිටු පත් කර අදාළ වැඩකටයුතු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමාත්‍යාංශ විසි ගණනක වැඩ කටයුතු පළාත් අමාත්‍යාංශ 05කින් සිදු කිරීමට ද බලාපොරොත්තු වෙනවා. එහිදී සාමාන්‍ය අමාත්‍යාංශයක ස්වරූපය ගන්න බැහැ. ඒ නිසා ඒවායේ ස්වරූපය වෙනස් කිරීම පිළිබඳ නිලධාරීන් දැන් සාකච්ඡා කරගෙන යනවා.

සියලු පක්ෂ එක් වූ පසු මෙහි අවසන් කොටස වන විමධ්‍යගත අයවැය පිළිබඳ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ද්විතීය මණ්ඩලයක් පිළිබඳ ඉල්ලීමක් තිබෙනවා. ඒ කියන්නේ සෙනෙට් සභාවක්. ඒ සඳහා ආණ්ඩුවේ විරුද්ධත්වයක් නැහැ. නමුත් එය කිරීමට සිදු වන්නේ ව්‍යවස්ථාවක් සකස් කරන අවස්ථාවකදීයි. මොකද ජනමත විචාරණයකට වුවත් යාමට සිදුවිය හැකියි. මේ පිළිබඳ අනෙකුත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. මෙම පියවරයන් සමඟ රට තුළ අප නව පසුබිමක් සකස් කළ යුතුයි. ඒ සඳහා ආගමික නායකයන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා. මෙම කරුණු පිළිබඳ මෙහිදී තවදුරටත් සාකච්ඡා කර සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.”