යාපනය, වට්ටුක්කෝට්ටේ ප්‍රදේශයේදී කඩු ප්‍රහාරයකට ලක්වූ තරුණයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වට්ටුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
ඔහු සිය බිරිඳ සමඟ කරෙයිනගර් සිට නිවසට පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබෙනවා.
තුවාල ලැබූ තරුණයා වට්ටුක්කෝට්ටේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදීයි මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මියගිය තරුණයා සිය බිරිඳ සමඟ අසළ තිබූ නාවික හමුදා කඳවුරට ගොස් සහය පතා ඇත්තේ කඩු පෙන්වා මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන්ගේ තර්ජනය කිරීමත් සමඟයි.
එහිදී නාවික හමුදාව විසින් අඹුසැමි යුවළට කිසියම් ගැටලුවක් ඇත්නම් කඳවුරෙන් පිටව යන ලෙස පවසා තිබෙනවා.
ඉන්පසු මෙම අඹුසැමි යුවළ නාවික හමුදා කඳවුරෙන් පිටව ගොස් ඇති අතර මෝටර් රථයකින් පැමිණි කල්ලියක් විසින් තරුණයා හා බිරිඳ පැහැරගෙන ගොස් තිබෙනවා.
මෙලෙස පැහැර ගනු ලැබූ තරුණයාට එම කල්ලිය විසින් කඩුවලින් පහර දී ඇති අතර ඔහුගෙ බිරිඳ නිවසක සිර කර ඇති බවයි වාර්තා වන්නේ.
කඩු ප්‍රාහරවලින් තුවාල ලැබූ තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැහැරගනු ලැබූ බිරිඳ අරාලි ප්‍රදේශයේ නිවසක සිරකර සිටියදී අසල්වාසීන්ගේ විරෝධය හේතුවෙන් සැකකරුවන් එම කාන්තාව චිත්තංකේනි ප්‍රදේශයට දමා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් වට්ටුක්කෝට්ටේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබූ අතර එහිදී සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය සමත් විය.
පසුගිය වසරේ කඩු සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වට්ටුක්කෝට්ටේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.