― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමාර්තු 19 සිට දරුවන්ට තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය

මාර්තු 19 සිට දරුවන්ට තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය

කවර බාධක පැමිණියත් අනාගත වැඩ ලෝකයට දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් මාර්තු 19 වැනිදා සිට 8 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සියවසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග Microsoft ආයතනය එක්ව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබා දීමට ඒ අනුව හැකිවන බවත් සුහුරු පුවරු සහිත ඩිජිටල් පන්ති ඇසුරින් පාසල් අතර විෂය දැනුම හුවමාරුවට දරුවන්ට අවස්ථා සලසා දීමට එමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ද ‍නව තාක්ෂණය සමග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ මේ වනවිටත් ජාත්‍යන්තරය සමග එක්වෙමින් පර්යේෂණ, පශ්චාත් උපාධි ඇතුළු ඉගෙනුම් අවස්ථා සිසුන්ට අත්පත් කර ගත හැකි අයුරින් පුළුල් කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය නව තාක්ෂණය සමඟ එක් කළ යුතු බවයි.

එමෙන්ම මෙරට සියලු‍ ගුරුවරුන්ට ද නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේ දී සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමට කලාප මට්ටමින් මධ්‍යස්ථාන සියයක් පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද පැවසී ය.

මේ වනවිටත් එම මධ්‍යස්ථාන 85 ක් ඩිජිටල්කරණයට ලක් කර ඇති බවද ඉදිරි මාස තුන ඇතුළත ඉතිරි මධ්‍යස්ථාන සියල්ල ඩිජිටල් කරණයට ලක් කරන බව ද පැවසූ අමාත්‍යවරයා, මානව සම්පත් සහ භෞතික සම්පත් පවතින ප්‍රමාණයෙන් කළමනාකරණය කර ගනිමින් පාසල් පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්ගේ නායකත්ව සහ කළමනාකරණ හැකියාවන් අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළේය.