“රටට අගයක් එකතු කරන කොට මට මඩ ගහයි, නම් පට බඳියි. අපි ඕවට සැලෙන්නේ නැහැ” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) අවිස්සාවේල්ල වග පින්නවල සමයවර්ධනාරාම විහාරස්ථානයේ ඉදිවූ අටවිසි මුණි සෑය සම්බුදු සසුනට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පාසල් 10126ක් තුළ දූ දරුවන් 41 ලක්ෂයක් අධ්‍යාපනය ලබන බවත් මේ වසර අවසන් වන්නට පෙර රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට දියුණු කරන බවත් ඒ වැඩසටහනට සමගාමීව අද ජන සමාජයේ අතරමං වූ දරු පරපුර, තරුණ පරපුර උතුම් පුන්යභූමීන් කේන්ද්‍ර කර ගෙන දැනුම, නව තාක්ෂණය, හා සුහුරු හැකියාව ලබා දී බංකොලොත් වූ අපේ රට ගොඩ ගැනීමේ ක්රියාදාමයේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත් කර ජන සමාජයේ ක්‍රියාත්මක වන දුරාචාරය මත්පැන්, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරපු සුපිරිසිදු ජන සමාජයක් බිහි කිරීමේ වැඩසටහනට මුලපුරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
මෙවැනි සංකල්ප ඉදිරිපත් වන විට සමාජ මාධ්‍යවල පහරපිට පහර ගසන බවත් තමාගේ පියා වැඩිපුර මල් පූජා කරන නිසා විවිධ අන්වර්තනාම පටබැදි නමුත් මල් පූජා කිරීම සෑම අයකුගේම අයිතියක් බව ඔවුන් දැනගත යුතු බවත් තමා විසින් මෙවැනි චෛත්‍ය ඉදිකරන වැඩසටහනට පවා සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර දියත් කරන බවත් බුදුදහම ගැන හොඳ දැනුමක් ඇති තමාව අන්‍යාගමිකයකු ලෙස හංවඩු ගසා ඇති බවත් මේ හැමදේම කරන්නේ ඊර්ෂ්‍යාව නිසා බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.
විවිධ පුද්ගලයන් කානු ගාව, බෝක්කු ගාව, කඩවල් අස්සේ කියන කතා ගැන නොසිතිය යුතු බවත් ඒ කතාවලට නොසැලිය යුතු බවත් එක එක අයගේ ඕපාදූපවලට සවන් නොදී යහපත් ගමනක යා යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටට අගයක් එකතු කරන විට සුළුතරයක් පිරිසක් ක්‍රෝධ කිරීම, වෛරක්කාරී ක්‍රියා සිදු කළත් ඒවා දමනය කරන ආකාරය බුදුරජාණනන් වහන්සේ දේශනා කර ඇති බැවින් ඒ මග යා යුතු බවත්ය.
ඇගලුම් කම්හල් 200 සංකල්පය ආරම්භ කරන විට මරණය ලබා දෙන බවට තුණ්ඩු යැවූ යුගයක් පසුකළ බවත් මේ වන විට එම කම්හල් නොමැති නම් රට තවත් කඩා වැටී ඇති බවත් එම ඇගලුම්කම්හල්වලට විරුද්ධව පාද යාත්‍රා ගිය පුද්ගලයන් සිටි බවත් ඒ ආකාරයට රට ගොඩ ගත නොහැකි බවත් ලෝකය සමඟ ගනුදෙනු කිරීමෙන් පමණක් රට ගොඩගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිර්මාණශීලීව දරු දැරියන් තරුණයන් දහම් අධ්‍යාපනයට මුල පුරන වැඩපිළිවෙළකට සූදානම් බවත් මෙවැනි සංකල්පයක් ක්‍රියාත්මක කරන විට සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රචාර දියත් කළත් එවැනි මඩ ප්‍රචාරවලට නොසැලී අඛණ්ඩව යහපත් අරමුණේම සිට එම වැඩපිළිවෙළවල් රට වෙනුවෙන් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.