― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහරක් කටා ඉල්ලන පහසුකම් ගැන නියෝගයක්

හරක් කටා ඉල්ලන පහසුකම් ගැන නියෝගයක්

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්‍රේල් මස 08 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කළා.

හරක් කටා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මේ වනවිට රඳවුම් භාරයේ පසුවන තම සේවා දායකයා විසින් පහසුකම් කීපයක් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15 ක කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත්, විත්තිකරු රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15 ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබාදිය හැකි ඒවා කවරේදැයි කරුණු පරීක්ෂා කර බලා, අප්‍රේල් මස 08 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් නීතිඥවරයාට නියෝග කළා.