ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලුම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන් යනු මෙරට තාවකාලික බාරකරුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ සමහර පුද්ගලයන් හැසිරෙන්නේ මුළු රටම තමන්ට සහ තමන්ගේ පවුලට අයිති දෙයක් ලෙස බවත් පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය එක පවුලකට සීමා වෙලා කියා සිතා ගෙන ඉන්නවා නම් එය වැරදි බවත් මේ රට අයිති එක පවුලකට හෝ ඥාති හිතමිත්‍රාදීන්ට නොව මේ රට අයිති ලක්ෂ 220ක් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් හැම ජාතියකටම ආගමකටම අයිති ශ්‍රී ලාංකේය පුරවැසියන්ට බවත්ය.
තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක එක දේශපාලන පක්ෂවලට එහෙම කරන්න පුළුවන් වුවත් රටේ අයිතිය ඇත්තේ ලක්ෂ 220 ජනතාවට බවත් එය සෑම ආගමකටම ජාතියකටම අයිති දෙයක් බවත් ආගමික සමගිය ජාතීන් අතර සමගිය ඇති කර ගත යුතු බවත් ආගම් හා ජාති අතර භේද බින්නකම් ඇති කර ඉදිරියට යා නොහැකි බවයි විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ.
රටේ අයිතිය කිසිදු පවුලකට අයිති දෙයක් නොවන නිසා ලක්ෂ 220ක ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතියට මුල්තැන ලබා දෙමින් තාවකාලික බාරකරුවන් ලෙස කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සුහුරු ශ්‍රී ලංකාවක් සහ සුහුරු අධ්‍යාපනයක් තුළින් ලෝකයේ අංක 1 බවට පත් වීමේ ගමන යාම බවත් විපක්ෂ නායකවරයා සන්ඳහන් කළේය.
යුද්ධය අවසන් වූ බොහෝ රටවල නායකයෝ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වුවත් මෙරට යුද්ධය අවසන් වීම වසර 15ක් ගත වුවත් තවමත් ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වන්න අප රටේ නායකයන්ට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි දෙයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ තුළින් විනාශ වූ යටිතල පහසුකම් ජන ජීවිත ගොඩනගන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට බොහෝ දෙනෙක් ක්රමයේ වෙනසක් ඉල්ලා සිටි බවත් එම ක්රමයේ වෙනස සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් නිදහසින් පසු වසර 76ක් පුරා විපක්ෂයක් නොකළ සංවර්ධන වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය දියත් කළ බවත් බලයක් නොමැතිව විපක්ෂයේ සිට රටම ආවරණය වන සංවර්ධන වැඩපිළිවෙළක් ඉටු කළේ සමගි ජන බලවේගය බවත් හෙතෙම සඳන් කළේය.
ඩොලර් හිඟයක් තිබෙන මේ බංකොලොත් රටේ පවතින රජයටවත් කරන්න බැරි සේවාවක් සමගි ජන බලවේග අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ඉටු කළ බවත් ජාතිය, ආගම, කුලය, පන්තිය, පක්ෂය, තරාතිරම නිසා වෙන් වෙලා කොටස්වෙලා බෙදී සිටින ශ්‍රී ලාංකේය ජනතාව එක අම්මගේ තාත්තගේ දුවා පුතා ලෙස එකට එකතු වන එක්සේසත් වන යුගය ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.