― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsAI සමඟ චිත්‍රපට සංස්ථාවේ නව පරිවර්තනයක්

AI සමඟ චිත්‍රපට සංස්ථාවේ නව පරිවර්තනයක්

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවත් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බවත්ය.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“පසුගිය විසි වසර තුළ රූපවාහිනිය තුළ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකථනය, ලැප් ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද Netflix, Amazon සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වෙනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අප කටයුතු කරන බව කිවයුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා ලබා දුන්නා. එම යුගයේ යශෝරාවය වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක් වී තිබෙනවා. The Frost කෙටි චිත්‍රපටිය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. එම චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව Maharaja in Denims නිර්මාණය කරමින් සිටිනවා. එය ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.

කෘත්‍රීම බුද්ධිය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මම උපදෙස් ලබා දී තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒ සඳහා රජයෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිව යුතුයි. මේ අයුරින් අපි නොසිතන ලෙස චිත්‍රපට කර්මාන්තය වෙනසකට ලක්වෙමින් තිබෙනවා. චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් සහ පළමු AI චිත්‍රපටය නිර්මාණය කරමින් අපි අලුත් ගමනකට මුල පුරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”