― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමම රට භාරගත්තේ දේශපාලනය ගැන හිතලා නෙවෙයි

මම රට භාරගත්තේ දේශපාලනය ගැන හිතලා නෙවෙයි

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ බවත්, ඒ පිළිබඳ තමන් කණගාටු වන්නේ එතුමාගේ පියාගේ පාලන සමයේදී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කර දුන්නේ තමන් වීම නිසා බවත්ය.

එක්සත් ජාතික පක්ෂය කැඩී යාමට ඉඩ නොතැබුවා නම් අද එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පැමිණෙන බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, පක්ෂය දෙකඩ කරමින් ගොඩනැඟු සමගි ජන බලවේගය තුළ අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, එම පක්ෂය තුළ එක්සත් ජාතික පක්ෂයේ අයෙකු නම් කිරීම කිසාගෝතමිය අබ ඇටයක් සොයා ගිය ගමනටත් වඩා අසීරු වී ඇති බවත් පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට ජනාධිපති ධූරය ලබා දීම නිසා පොහොට්ටුවෙන් ඉවත් වු පිරිස සමඟ එක්ව අගමැති ධූරය භාර ගැනීමට සූදානම් වු සමගි ජන බලවේගය තුළ අද ඇත්තේ ප්‍රතිපත්තියක් නොව, වෛරයක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය කිසිදා වෛරී දේශපාලනයක නිරත නොවන බවත් අද දවසේ සැබෑ අවශ්‍යතාවය වී තිබෙන්නේ රටේ ආර්ථිකය දියුණු කිරීම බවත් ප්‍රකාශ කළේය.

අද අප මෙහි රැස් වී සිටිනේ වෙනස් දේශපාලන වාතාවරණයක් තුළයි. 2022 අර්බුදය සමඟ රටේ ආර්ථිකය මෙන්ම දේශපාලන පක්ෂ ක්‍රමයද කැඩී ගියා. අද අපේ මූලික වගකීම වන්නේ කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් රටේ ආර්ථිකය බේරාගෙන ජනතාව ජිවත් කරවීමයි. එක්සත් ජාතික පක්ෂය මෙම ආර්ථික අර්බුදය මුල සිටම හඳුනාගෙන සිටියා. අපි 2020 මැතිවරණයේ දී ප්‍රකාශ කළා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න නම් ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියලා. එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය පමණයි. නමුත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය කඩලා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජන බලවේගය ඇති කරගත්තා. මා කණගාටු වන්නේ එතුමාගේ පියා යටතේ පක්ෂය කැඩී යාමට ගිය අවස්ථාවේ එදා පක්ෂය ආරක්ෂා කරදුන්නේ මම වීම නිසයි. කෙසේ හෝ මෙම පක්ෂය කඩන්නේ නැතිව අප ඉදිරියට ගියා නම් දේශපාලන වශයෙන් අද අප ශක්තිමත් පක්ෂයක්. අපට ආණ්ඩුවක් හදන්න අවස්ථාව තිබුණා.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වන විට ඔවුන් ප්‍රකාශ කළේ අපට මෙය කරන්න බැහැ කරන්න පුළුවන් අයෙකුට සහාය ලබා දෙනවා කියලයි. එම කාලයේදී ඔවුන්ගේ සහාය අවශ්‍යව තිබුණා. ඇයි එදා අපට එක්වෙලා ආණ්ඩු බලය ලබාගන්න නොහැකි වුණේ. එක්සත් ජාතික පක්ෂයේ කොටසක් අද විපක්ෂයේ සිටින්නේ පක්ෂය කැඩුව නිසයි. ඒ වගේම මම අගමැති ධූරයට පත්වූ අවස්ථාවේ මට සහාය දෙන්න කියලා මම නැවත ඉල්ලා සිටියා. නමුත් එම සහයෝගය හිමි වුණේ නැහැ. ඉන්පසුව මේ රටේ විශාල අර්බුදයක් ඇති වුණා. මම අගමැතිවරයා ලෙස ජනාධිපති ධූරය භාර ගැනීමට නියමිතව තිබුණා. එවිට කිව්වා සමගි ජන බලවේගයට ජනාධිපති ධූරය අවශ්‍ය නිසා විපක්ෂ නායකව ජනාධිපති කරන්න කියලා. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයාට රටේ ජනාධිපතිකම දෙනවා කියලා පොහොට්ටුවෙන් ඉවත් වු පිරිස සමඟ එකතු වෙලා අගමැති වෙන්න සුදානම් වුණා.

රටේ අසීරු අවස්ථාවේදී පොහොට්ටුවේ බහුතරයක් ප්‍රකාශ කළා අගමැතිවරයාට අවස්ථාව දෙමු, අප සහාය ලබා දෙන්නම් කියලා. සුළුතරයක් ඊට විරුද්ධ වුණා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහත්මයා කිව්වා පොහොට්ටුවේ සහය දෙන්න ඕන පොහොට්ටුවේ සාමාජිකයෙක්ට කියලා. ඉන්පසුව ඔහු ඇතුළු සුළුතරයක් විපක්ෂයට ගියා. පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනාධිපති ඡන්දයට ඉදිරිපත් කරන්න ඕන කිව්වා. එවිට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමව ඉදිරිපත් කළා. එවිට සජිත් ප්‍රේමදාස මහත්මයා පොහොට්ටුවේ අගමැති වෙන්න සූදානම් වුණා. මුලින් අගමැති ධූරය භාර ගන්න බැහැ කියලා පැනලා ගියා.

කෙසේ හෝ මම ජනාධිපති ධූරයට පත් වුණා. මම එම වගකීම භාරගත්තේ දේශපාලනය ගැන හිතලා නොවෙයි, රට ගැන හිතලා. ඒ සඳහා සෑම පක්ෂයකම සහාය ඉල්ලුවා. කෙසේ හෝ අප සියලුදෙනා එකට එකතුව මේ ප්‍රශ්නය විසඳා තිබෙනවා. පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එදා ගම්වල එකිනෙකාට විරුද්ධව කටයුතු කළ කණ්ඩායම්. නමුත් අපි රට වෙනුවෙන් එකතු වුණා. දැන් රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එදා සමගි ජන බලවේගය කිව්වේ එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ අපේ ළඟයි, අපට සිරිකොත පමණයි නැත්තේ, අපට බලය ලබා දෙන්න අපි සිරිකොත අල්ල ගන්නවා කියලා. දැන් සන්ධානයක් හදලා ජී.එල් පීරිස් ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායම සමගි ජන බලවේගය අල්ලගෙන තිබෙනවා.

අසීරු කාලයේ රට බේරගන්න පක්ෂ බේදයකින් තොරව අපි සියලුදෙනා එකට එකතු වුණා. ඇතැම් අය චෝදනා කරනවා මහින්ද රාජපක්ෂ සමඟ එක් වුණා කියලා. පොදුජන පෙරමුණේ බහුතරයක් මට සහාය ලබා දෙන්න එකඟ වුණා. එවිට එම බහුතරය සමඟ එක්වීමට මහින්ද රාජපක්ෂ මහත්මයාට සිදු වුණා. සභාපතිවරයා බහුතරයට විරුද්ධව කටයුතු කළා. මෙහි තිබෙන්නේ වෛරයයි. ප්‍රතිපත්ති නොවෙයි. නමුත් අප තුළ වෛරය නැහැ. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි. අද රට තුළ තිබෙන්නේ එදා තිබුණ ආර්ථික තත්ත්වය නොවෙයි. අද සියලු ජනතාවට ජීවත්වීමේ අයිතිය ලැබී තිබෙනවා. අප ආර්ථික වශයෙන් දිනෙන් දින ඉදිරියට යනවා. ඒ සඳහා අපි එකතුවෙලා කටයුතු කරමු.”