― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහරක් කටාගේ ඉල්ලීම් කිහිපයකට අධිකරණයේ එකඟත්වය

හරක් කටාගේ ඉල්ලීම් කිහිපයකට අධිකරණයේ එකඟත්වය

මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටාට පහසුකම් කීපයක් සලසා දීමට කොළඹ මහාධිකරණය අද (08) එකඟ වුණා.

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම් සිදුකළා.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබා දෙනු ලබන විනාඩි 15 ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබුණා.

එහෙත් නීතිඥවරුන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව රජයේ නීතිඥවරයා සඳහන් කළා. විත්තිකරුගේ ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ඔහු රඳවා සිටින ස්ථානයේ ක්‍රියාත්මක වන්නේ දැයි වාර්තාවක් කැඳවන ලෙසද එම මෝසමින් ඉල්ලීමක් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු රඳවා සිටින ස්ථානයේ එවැනි කැමරා පද්ධතියක් නොමැති අතර ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකයේ සහ නාවික හමුදාවේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බවයි.

ඊට අමතරව පියා ඇතුළු ඥාතීන් හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් හරක් කටා සිය මෝසෙමින් ඉල්ලා තිබුණා. ඒ අනුව ඥාතීන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව ද රජයේ නීතිඥවරයා සඳහන් කළා.

ඊට අමතරව විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබා දෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශ රැඳවුම් භාරයේ පසුවන පුද්ගලයකුට මෙවැනි පහසුකමක් ලබාදීම අපහසු බවයි.

එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් අදාළ මෝසමෙන් තවත් ඉල්ලීමක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු තංගල්ල රෝහලේ බාහිර රෝගියෙකු වශයෙන් ලියාපදිංචි කර වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් වැඩිදුරත් ඖෂධ ලබා දිය හැකි බවත්ය.

ඊට අමතරව තමන්ට නිවසින් ආහාර පාන ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආරක්ෂක හේතූන් මත එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බවයි.

මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබා දුන්නා.

ඉන් අනතුරුව නඩුව ලබන 26 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.