― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsයළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා

යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බවත් නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බවත්ය.

ගාලු මුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ.

ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.

මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියෝජනය කරනවා. ඒවගේම ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේද ඉන්දියාවයි. ඒ නිසා ඉන්දියාව මෙන්ම සිංගප්පූරුව නියෝජනය කරන හෝටල් මෙහි පිහිටා තිබෙනවා. ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂී ස්ථානයක් ලබා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ. මෙය කොළඹ නගරයේ සහ කොළඹ කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ‍. ඉන්දියාව තුළ නිර්මාණය කළ කාමර 10,000කින් යුත් හෝටල් සමූහයෙන් පසු ITC සමාගම ඔවුන් පැමිණිය යුතු හොඳම තැන ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.

ඔබට දියුණු කළ හැකි ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන තිබෙනවා. ඉදිරි දශකය තුළ කොළඹ ජනාධිපති මන්දිරය මාදිවෙල ප්‍රදේශයට ගෙන යාමට නියමිතයි. ඒ සමඟ කොළඹ ජනරජ චතුරශ්‍රය, නාවික හමුදා මූලස්ථානය, පරණ ජැටිය, රේගු මන්දිරය සහ මහ තැපැල් කාර්යාලය ආදී ස්ථාන සියල්ලම කොළඹ සංචාරක නගරයේ අංගයන් ලෙස සංවර්ධනය කළ හැකියි. මීට වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය ඔබට මතක බව මා සිතනවා. එදා හිටපු ජනාධිපතිවරයාගේ කාර්‍යාලය වටලා අරගලයක් දියත් වුණා. ජනතාව ඒ සඳහා යොමු වුණේ ආර්ථිකය බිඳ වැටී තිබු නිසයි. නමුත් කඩා වැටුණ ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩනැඟීමට අපට හැකි වුණා.

මේ වනවිට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල් නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි. කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම්. ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි. එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකියි.