උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකළ රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් දින කීපයක සිට උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කළ අතර අද (06) දින පළාත් සභා ප්‍රධාන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා.
මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර කිසිවෙකුට එම ගොඩනැගිල්ලට ඇතුළුවීමට හා පිටවීමට නොහැකි වන ආකාරයට උද්ඝෝෂකයින් විසින් දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතව තිබෙනවා.
මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර එම ස්ථානයට පොලිසිය කැඳවා උද්ඝෝෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ ද එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගැනුණු උද්ඝෝෂකයින් අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.










