― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිද්‍යා ඝාතන නඩුවේ සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි

විද්‍යා ඝාතන නඩුවේ සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමූහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා ඊයේ (06) ඉවත් වුණා.

මෙම අභියාචනා ඊයේ එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා සඳහන් කළේ තමා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කර තිබෙන හෙයින් තමා මෙම අභියාචනා විභාගයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

ඉන් අනතුරුව අදාල අභියාචනා ජූලි මස 30 වැනිදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

එහිදී අභියාචක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන නිසියාකාරව නොලැබීම නිසා මෙම නඩුවේ විභාගය වසර 06 ක් පමණ ප්‍රමාද වී තිබෙන බව සඳහන් කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් විනිසුරු තුරෙයි රාජා සඳහන් කළේ පරිවර්තකයින්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතුවලද ප්‍රමාදයක් සිදුවී ඇති බවයි.

එම අවස්ථාවේදීත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් දැනට සිදු කර තිබෙන පරිවර්තන අතරින් දෝෂ සහිත කොටස් නිවැරදි කිරීමේ කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව පරිවර්තන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම් ජූලි මස 30 වැනිදා කැඳවන ලෙසද නියෝග කළා.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කොට මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

තමන්ට එරෙහිව යාපනය මහාධිකරණය විසින් දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.