― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරුසියා - යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යෙදවීම ගැන සෙවීමට විශේෂ අංශයක්

රුසියා – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යෙදවීම ගැන සෙවීමට විශේෂ අංශයක්

නීතිවිරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා තිබෙනවා.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා සහ යුද හමුදාවේ විශ්‍රාමික සැරයන්වරයා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳ අප පසුගිය දින කිහිපය පුරාම අනාවරණ කළා.

මේ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ අංශයක් ස්ථාපිත කළ බවයි.

අදාල සියලු තොරතුරු දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා අදාල අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින්, ඔවුන් පිටත්ව ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක වැනි තොරතුරු ලබා දෙන ලෙසයි.

එමෙන්ම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු ද ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අංශය වෙත ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර යුද්ධය අතරතුර යළි මෙරටට පළා ආ විශ්‍රාමික හමුදා සාමාජිකයෙක් කටුනායක ගුවන්තොටුපොලින් මෙරටට පැමිණි අවස්ථවේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට කුරුණෑගලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ යුද හමුදාවේ විශ්‍රාමික සැරයන්වරයෙකු ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් යුධ හමුදා මූලස්ථානයෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනය ලබා ගනිමින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් සහ සමාජ මාධ්‍ය සමූහ ඔස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

එමෙන්ම රුසියානු යුද්ධය සඳහා ගිය පිරිස් සහ නැවත පළා ආ පිරිස් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.