― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා - ජනපති

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා – ජනපති

2025 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අද්හස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බවයි.

ඉන් පළමුවැන්න ලෙස මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමේ මහබැංකු නීතිය මේ වනවිටත් සම්මත කර ගෙන ඇති බවත් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේ දී නීතියක් ලෙස ගෙන එන බවත් රටේ අනාගතය රැඳී පවතින එම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන්ද සෑම දේශපාලන පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත්ය.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන්ද සියලුදෙනා එක් විය යුතු බවත් ප්‍රකාශ කළේය.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවත් එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.