― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගෝඨාභයට නොතීසි

ගෝඨාභයට නොතීසි

මරණීය දණ්ඩනය නියම වී සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමිනුයි මෙලෙස ගෝඨාභයට නොතීසි නිකුත් කර ඇත්තේ.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්නට ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඊට අමතරව අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි, ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු යුද හමුදා සැරයන් සුනිල් රත්නායකටද මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කළා.

ඉන් අනතුරුව අදාල පෙත්සම සැප්තැම්බර් මස 4 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණ විසින් නියෝග කළා.

2000 වසරේ දෙසැම්බර් මස 19 වනදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා මරා දමා වල දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

එම නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායක නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එම අභියාචනා පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වනදා තහවුරු කරනු ලැබූවා.

ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායක නැමැත්තා 2020 වසරේ මාර්තු මස 26 වැනිදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබුවා.