― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsඅපනයනයට නැඹුරු වූ තරගකාරී ආර්ථිකයක් හැදීම අරමුණයි

අපනයනයට නැඹුරු වූ තරගකාරී ආර්ථිකයක් හැදීම අරමුණයි

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම සහ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයේ ඉදිරි ප්‍රවණතා සොයා බැලෙන පුළුල් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ‘බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග’ මැයෙන් ඊයේ (29) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති වටමේස සාකච්ඡාවට එක්වෙමිනි.

ලෝක බැංකුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කර තිබූ මෙම වටමේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබීය.

හරිත හයිඩ්‍රජන් පිළිබඳ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් (Price water house Coopers) ආයතනය විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වාර්තාව සතු වැදගත්කම මෙන්ම නැගී එන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තවදුටත් දිරිමත් කිරීම සඳහා පුළුල් සැලැස්මක අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

එහිදී දේශීය වශයෙන් විශේෂඥ දැනුම ලබා ගැනීමේදී මතුව ඇති දුෂ්කරතා පිළිබඳව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහාය ලබා දෙන ලෙස ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ දෙස් විදෙස් ආයෝජකයින් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

තිරසර හා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ඒ සඳහා පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සහ දේශගුණික විපර්යාස පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

බංකොලොත්භාවයෙන් මිදීමට කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික රාමුවක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අපනයනයට නැඹුරු වූ ඉතා තරගකාරී ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම අපගේ අරමුණ වන අතර එය කෘෂිකර්මය මත පදනම් වූ හරිත ආර්ථිකයක් ද විය යුතුයි. අප දැනමටමත් එම කටයුතු සැලසුම් කර තිබෙන අතර ආර්ථිකයේ නව අංශ කිහිපයක්ද හඳුනාගෙන සිටිනවා. එහිදී ශ්‍රී ලංකාව සතුව පවතින පුනර්ජනනීය බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් පිළිබඳ අවධානය යොමු කර තිබෙන අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් පවතිනවා. එසේම ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ සුළං බලශක්තිය නිෂ්පාදනය සඳහා තිබෙන විභවය සමඟ එම ක්ෂේත්‍රය තුළ වේගවත් සංවර්ධනයක් අත්කර ගැනීම අපගේ අරමුණයි. ශ්‍රී ලංකාව ශුන්‍ය විමෝචන තත්ත්වයට ළඟා වීම වෙනුවෙන් කරනු ලබන කැපවීම සමඟ මෙය අනුකූල වන අතර 2040 වන විට මෙම ඉලක්ක කරා ළඟා වීම අපේ අපේක්ෂාවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පිළිගත හැකි සංශෝධන රැසක් සමඟින් මීට දින දෙකකට පමණ පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අප දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. එළැඹෙන මාසයේ දී අප මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර අනිවාර්යයෙන්ම මෙම ජූලි මස ආරම්භය වන විට මෙය නීතියක් බවට පත් කළ යුතුයි. එබැවින් මෙම කටයුතු දැනට ව්‍යවස්ථාදායක සභාව තුළ සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම දේශගුණික විපර්යාස පනත දැනටමත් කෙටුම්පත් කරමින් පවතින අතර එය මේ පිළිබඳ වන තුන්වන පනතයි.

සිව්වනුව, අප සාකච්ඡා කළ යුත්තේ බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති සම්පාදනය කිරීම පිළිබඳවයි. ඇතැම් රටවල බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති තිබෙනවා. අප ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින අතර දකුණු ඕස්ට්‍රේලියාව වැනි ඇතැම් ප්‍රදේශවල එම නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද අධ්‍යයනය කර තිබෙනවා. බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති සම්පාදනය කිරීමේ දී එය අපට ප්‍රයෝජනවත් විය හැකියි. එහිදී අප නව ක්ෂේත්‍ර වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන අතර විදුලිය නිපදවීම සඳහා පමණක් නොව, විදුලිය බෙදා හැරීම සඳහා ද අප එම ක්ෂේත්‍ර විවෘත කරනවා. එහිදී පෞද්ගලික අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇතියි.

එසේ නොමැතිව 2040 හෝ 2050 වනවිට අපේ ඉලක්ක සපුරා ගත හැකි වෙනත් ක්‍රමවේදයක් නැහැ. මුදල් අමාත්‍යාංශය අනෙකුත් අංශ සමඟ මෙම කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටිනවා. පරිසර අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය හරිත මූල්‍යකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටින අතර හරිත හයිඩ්‍රජන්වලට පරිවර්තනය වීම සහ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම සඳහා වන අපගේ සැලසුම් වන්නේ මේවායි. හරිත හයිඩ්‍රජන් සඳහා අප සතුව ඉහළ විභවයක් පවතින අතර එහි ඇස්තමේන්තු ගත ප්‍රමාණය ගිගාවොට් 40 ක් පමණ වෙනවා. ඇතැම් විට එය ඊටත් වඩා වැඩි විය හැකියි.

මන්නාරම ප්‍රදේශයේ හරිත හයිඩ්‍රජන් නිපදවීම සඳහා සැලකිය යුතු විභවයක් පවතිනවා. නමුත් එහි ගැටළු ගණනාවක් තිබෙන අතර අප ඒවාට විසඳුම් සෙවිය යුතුයි. එහිදී පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීම සඳහා අප ඔවුන්ව දිරිමත් කළ යුතුව තිබෙනවා. ඉන්දියාව දැනටමත් හරිත හයිඩ්‍රජන් අපනයනය සිය සැලසුම්වලට ඇතුළත් කර ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිය යුතු හරිත හයිඩ්‍රජන් ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම විදුලිය බෙදා හැරීම සඳහා අලුතින් මුහුද යටින් දිවෙන කේබල් ඉදිවෙනවා. ඉන් එකක් ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව අතර ඉදිවනු ඇති අතර අනෙක සිංගප්පූරුව සහ ඉන්දියාව අතර ඉදිවනු ඇතියි. එහිදී මුහුද යටින් දිවෙන ඉන්දු-සිංගප්පූරු කේබලය ශ්‍රී ලංකාවට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා. හරිත හයිඩ්‍රජන් භාවිතය දෙස බලන විට, ශ්‍රී ලංකාවට කලාපය තුළ දිගුකාලීන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීම සඳහා එය උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.

හරිත හයිඩ්‍රජන් ප්‍රභවයන්ට ආසන්න ත්‍රිකුණාමලය, හරිත හයිඩ්‍රජන් පවතින දකුණේ හම්බන්තොට සහ කොළඹ ලෙස අපට වරායන් තුනක් තිබෙනවා. අප ඉන්දියාව සමඟ ගොඩබිම් පාලමක් මෙන්ම දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. එනම් අපට දකුණු ඉන්දියාවට ළඟා වීමේ හැකියාව ද පවතිනවා.මේ වන විටත් අප ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර මේ සියල්ල නිසි ලෙස සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට ඇති රාමුව කුමක්ද සහ ප්‍රවණතා මොනවාද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. අප සියලුදෙනා එක්ව මෙම අරමුණ ඉටුකර ගත යුතුයි. නමුත් මේ සඳහා අපට පරිපූර්ණ විශේෂඥ දැනුමක් නොමැති බව පිළිගත යුතුයි. ඒ සඳහා අපට බාහිර උපකාර අවශ්‍යයි. ඒ නිසා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඒ පිළිබඳ උනන්දුවකින් කටයුතු කරන පාර්ශ්වයන් අපට නිසැක වශයෙන්ම සහය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අප හරිත ආර්ථිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින බැවින් මේ තුළ ඉදිරියට යාම අවශ්‍යයි.”