― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ඊයේ (03) පෙරවරුවේ පැවති සැමරුම් උළෙල අමතමිනි.

ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින් සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි. මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා. ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

අප රටේ දරිද්‍රතා අනුපාතය 2019 වසරේදී 15%ක් වූ අතර එය මේ වන විට 25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2032 වසර වන විට එය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමට මෙවැනි ව්‍යාපෘති අපට උපකාරී වෙනවා. එබැවින් මෙම ව්‍යාපෘති සඳහා දායක වීම පිළිබඳ මම නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය සේවා පුළුල් කරමින් නව රෝහල් 04ක් විවෘත කිරීමට ද නෙදර්ලන්ත තානාපතිනිය පසුගියදා අප සමඟ එක් වුණා.

මෙම ව්‍යාපෘති දෙක මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කෙරෙනවා. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිවල වැදගත්කම හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වගේම ලෙව්කේ දිසාවට අයත්ව පැවති කාලතුවක්කු ද යළි ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ නෙදර්ලන්ත රජයට නැවතත් මගේ ස්තූතිය පුද කරනවා. මෙම කටයුතු සමඟ දෙරට අතර සබඳතා ඉදිරියේ දී ඉතා ශක්තිමත් වනු ඇති බවට ද කිසිදු සැකයක් නැහැ.

අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළයුතුයි. මීට අදාළව හිදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.