― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම රුපියල් 10,000ක්

ගංවතුරෙන් හානි වූ සෑම නිවසකටම රුපියල් 10,000ක්

ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (07) අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

නිවස පිරිසිදු කර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් එම මුදල ලබා දෙන බවත්, ආපදා තත්ත්වයෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සියලු නිවාස හා ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ගං වතුරෙන් විනාශ වූ ප්‍රදේශයේ නිවාස දැක බලා ගැනීමටද එක් වූ සාගල රත්නායක විපතට පත් ජනතාව වෙනුවෙන් කොළොන්නාව ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ පැවති වෛද්‍ය සායනය වෙත ද ගොස් එම කටයුතු නිරීක්ෂණය කළේය.

අනතුරුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සොයා බැලීමේ සාකච්ඡාවට ද ඔහු එක්විය.

ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සාකච්ඡා කර, ගංවතුරට ලක් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් කඩිනමින් ලබාදීමට තීරණය කළා. ඒ වගේම අර්ධ හා පූර්ණ නිවාස හානි සොයා බලා එම පවුල් වෙත තවත් වන්දි මුදලක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. 2019 චක්‍ර ලේඛය අනුව ගංවතුර ආපදා තත්ත්වයකදී වන්දි මුදල් ලබා දීම සිදු වූයේ සහන කඳවුරක් ඇතුළට පැමිණි පිරිස වෙනුවෙන් පමණයි. නමුත් අපි එම චක්‍ර ලේඛය වෙනස් කර ගංවතුරට හසු වූ සෑම නිවසක් වෙනුවෙන්ම රුපියල් දස දහසක දීමනාක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ජනතාවට නැවත තම නිවාසවලට ගොස් වැඩ කටයුතු කරගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය වෙනවා.

ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස හානි වූ සියලු නිවාස රජයේ වියදමින් යුද හමුදාවේ දායකත්වයෙන් ඉදිකර දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා. ඒ අතරතුර ඖෂධ අවශ්‍යතා ඇති ජනතාවට ඖෂධ ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ගංවතුර බැස ගිය පසුව ජනතාව විශාල ලෙස වසංගත රෝගවලට ලක් විය හැකියි. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටි ජනතාව මෙවැනි රෝගවලින් වළක්වා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඩෙංගු රෝගය පිළිබඳව අවධානමකටත් අප මුහුණ දෙමින් සිටිනවා. ඊට මුහුණ දිය හැකි වැඩපිළිවෙල අප සකස් කර තිබෙනවා. නාවික හමුදාව,රතුකුරුස සමාජය සහ අසල්වාසී ආපදාවන්ට ලක් නොවූ ජනතාව එක් කරගෙන පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා. ළිං නැවත භාවිතා කළ හැකි මට්ටමට ගෙන ඒමට කටයුතු කරනවා.

වෛද්‍ය සායන පවත්වමින් ආපදාවට පත් වූ ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා. විදේශ වෛද්‍ය කණ්ඩායම් විසින් සායන කඳවුරු පැවැත්වීමටද කටයුතු කරමින් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තවත් වෛද්‍ය සායන ගණනාවක් සිදුකරමින් තිබෙනවා. යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් ද පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා දායකත්වය සැපයීමට සූදානම් කර තිබෙනවා. ආපදාවට පත් වූ සෑම ප්‍රදේශයකම ජනතාව පිළිබඳව ජනාධිපතිතුමා නිරන්තර අවධානයෙන් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය සියලුම සහන සැලසීමට ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ වගේම මෙවැනි ගංවතුර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් පිළිබඳව ද අධ්‍යනය කරමින් සිටිනවා. අනවසර ඉදිකිරීම්, ඉඩම් ගොඩ කිරීම් වැනි කරුණු මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇතිවීමට හේතු වී ඇති බව අනාවරණය වෙමින් තිබෙනවා. එම නිසා ගංවතුර පාලනය කිරීම සඳහා අනවසර ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් නැවැත්වීමට කැබිනට් ඇනුමැතිය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. කැලණි ගඟ දෙපස සිටින ජනතාව වෙනුවෙන් නව නගරයක් නිර්මාණය කිරීමටද අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවාසවලින් සමන්විත සියලු පහසුකම් සහිත නගරයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

IDH රෝහල, ලංගම ඩිපෝව වැනි රාජ්‍ය ආයතනත් මෙම ප්‍රදේශයේ තිබෙනවා. එම නිසා නව නගරය නිර්මාණය කිරීම පිළිබඳ මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය ඇතිව නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර දහයක කාලයක් ඇතුළත එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”