― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsදසත මාධ්‍යවේදී ධනුෂ්කට මැර ප්‍රහාරයක්

දසත මාධ්‍යවේදී ධනුෂ්කට මැර ප්‍රහාරයක්

ජනප්‍රිය රූපවාහිනී මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අද (21) අලුයම 03ට පමණ මෙම මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ නවාතැන්පොළේ දීය.

පහරකෑමට ලක් වූ ධනුෂ්ක සෙනෙවිරත්න මේ වනවිට හිසට සහ අත පයට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහු නිදා සිටියදී අද අලුයම 03ට පමණ කිසිවෙක් පැමිණ නවාතැන්පොළෙහි දොරට තට්ටු කර තිබෙනවා.

එම අවස්ථාවේදී පැමිණ සිටින්නේ කවුරුන් දැයි ඔහු දොර විවෘත කිරීමට පෙර විමසා සිට ඇති අතර පැමිණ ඇත්තේ පොලීසියෙන් බවට පැවසූ නිසාවෙන් ඔහු විසින් සිය කාමරයේ දොර විවෘත කර තිබේ.

එහිදී තමන්ට පහර දුන් තැනැත්තා තමා සමග නවාතැන්පොළේ රැඳී සිටින අයෙකුගේ නමක් කියා එම පුද්ගලයා සිටින්නේ කොහේදැයි තමන්ගෙන් විමසූ බව ඔහු පවසයි.

එම අවස්ථාවේ දී ධනුෂ්ක විසින් එම පුද්ගලයා නවාතැන්පොළේ නොමැති බව මැර පිරිසට පැවසූවද ඔවුන් නැවත නැවතත් ධනුෂ්කට පහරදී තිබේ.

ප්‍රථමයෙන් එක් අයෙකු පමණක් නිවස ඇතුළට පැමිණ ප්‍රශ්න කර ඇති අතර පහරදීමේ දී තවත් දෙදෙනකු නිවසේ එළියේ සිට පැමිණ නිවසෙහි තිබූ පුටුවකින් ඔහුගේ හිසට දරුණු ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඔහුට පහරදීමට නිවස තුළට පසුව ආ පුද්ගලයින් මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාව සේවය කරන අය බවට ධනුෂ්ක විසින් හඳුනාගෙන ඇත.

ඔහුට පහරදෙන අවස්ථාවේදී මෙම මැර පිරිස මත්ද්‍රව්‍ය ගෙන සිට ඇති අතර ඔවුන් පිටත්ව යෑමට පෙර තවත් මාධ්‍යවේදියෙකුගේද නම කියමින් ඔහු රැඳී සිටින්නේ කොහේදැයි යන ප්‍රශ්නය ද විමසා තිබේ.

ධනුෂ්කට පුටුව කැඩෙන්නට පහර දී, පසුව තවත් පහර දෙන්නට නිවසෙහි විවිධ භාණ්ඩ සොයමින් සිටින අතරතුර දී ධනුෂ්ක කඩිනමින් නිවසින් පිටත දුවවිත් කෑ ගසන අවස්ථාවේ නවාතැන්පොළෙහි හිමිකරු පැමිණ ඇති අතර එහිදී පහරදුන් පුද්ගලයින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පළාගොස් තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේවනවිට පැලියගොඩ පොලිසියට පැමිණිලි සිදු කර ඇති අතර සිදුවීම පිළිබඳ ව විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

සැකකරුවන් පළායන අවස්ථාවේ දී නිවසේ හිමිකරුව ද මෝටර් රථයෙන් යට කිරීමට උත්සාහ ගන්නා දර්ශන නිවසෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී ඇති බව වාර්තා වෙයි.

එම දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අප පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි.