රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙම රත්තරන් ජෙල් ගුලි ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ, මූතූර්, කොළඹ – 10, කළගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 – 50 ත් අතර පසුවන පුද්ගලයන් හය දෙනෙකි.
මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන බවයි පොලීසිය පැවසුවේ.
මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඊයේ (25) පස්වරු 01.20 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම පුද්ගලයින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan Test) පරීක්ෂා කිරීම්වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අතරින් පුද්ගලයන් සිව් දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි ගුද මාර්ගයේත්, තවත් දෙදෙනෙකු තම ගමන් මලු තුළත් බහා ගෙනැවිත් ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව ඔවුන් සන්තකයේ තිබී කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක් බර රත්තරන් ජෙල් ගුලි 22ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූවන් අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


