ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව
දයාසිරි ජයසේකර විසින් එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ විසින් මෙම නියෝගය නිකුත් කළා.
තමන්ව ශ්‍රී නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ විධායක කමිටුව විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර විසින් ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.
එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් මුල් අවස්ථාවේදී වාරණ නියෝගය නිකුත් නොකිරීමට තීන්දු කර තිබුණා.
එහෙත් පසුව එම පැමිණිල්ලට අදාලව සිදු කළ දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නඩුව විභාගය සඳහා යළි අගෝස්තු මස 02 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.