― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජනතාව කබලෙන් ලිපට දමා වැටුප් වැඩි කරන්න බැහැ

ජනතාව කබලෙන් ලිපට දමා වැටුප් වැඩි කරන්න බැහැ

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට නම් දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (08) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ආදායම සොයා ගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද, බදු වැඩිකිරීමට ද සිදු වන බව පෙන්වා දුන් ලේකම්වරයා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2% ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද සඳහන් කළේය.

එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3%කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද 18% ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බවත් එසේ සිදු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් කියා සිටියේය.