කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණ සිටි පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් සඟවා තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (17) මාවතගම පොලිස් වසමේ රන්දෙනිය හංදිය අසලදී වැටලීමක් සිදු කර ඇති අතර මෙලෙස පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා ඉන් මුදවාගෙන තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කුවේට් රාජ්‍යයේදී මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේම එකට සේවය කළ අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදු කර ඇති බවයි.
එම සැලසුම මෙරටදී ක්‍රියාත්මක කළ සිව්දෙනා රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම පුද්ගලයාව පැහැරගෙන තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ සිටි පුද්ගලයකු ගුවන්තොටුපොළේ සිට මාතලේ ප්‍රදේශයට යමින් සිටියදී මොවුන් සිව්දෙනා එම පුද්ගලයාව පැහැරගෙන නාරම්මල පොලිස් වසමේ මැදගොඩ වැවපාර, ඉහළ රන්මුතුගල ප්‍රදේශයේ පාළු නිවසක රඳවා තබා තිබෙනවා.
පැහැරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් සිව්දෙනෙක්.
පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවතගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.