ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත් එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය – කොළඹ ශාඛාව විසින් පැවැත්වීමට නියමිත, ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ගංවතුර උවදුර සඳහා ප්‍රතිචාර දැක්වීම සහ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පුරවැසියන් ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත නොවන බවයි.
“ව්‍යසනයක් ඇතිවූ අවස්ථාවන්වලදී රජය වගේම විවිධ සංගම් හා රටවල් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරනවා. ගංවතුර තත්ත්වයක් ඇති වීමට පෙර එය අවම කරන්න අප කටයුතු කළා නම් අපට ගංවතුර තත්ත්වයකදී වියදම් කරනවාට වඩා විශාල මුදලක් අඩු කර ගත හැකියි. ඒ වගේම ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට වැය වන මුදල ඩෙංගු නිසා සෞඛ්‍ය සේවයට දරන්න සිදු වන වියදමට වඩා බොහෝ අඩු වනු ඇති බව පැවසිය යුතුයි. මෙහිදී සිදු වන ජීවිත හානි, පවුලේ සාමාජිකයන් මුහුණ දෙන ගැටළු මුදල් වලින් තක්සේරු කළ නොහැකි බව තේරුම් ගත යුතුයි.
මේ සියලු දේ පිළිබඳ නිසියාකාරව තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට කාලය දැන් පැමිණ තිබෙනවා. මේ තීන්දු තීරණ ජනප්‍රිය ඒවා නොවෙන්න පුලුවන්. ජනප්‍රිය නොවූවත් අපට නිවැරදි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. අප ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේද ජනප්‍රිය නොවන; ඒත් නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසයි. එවැනි තීන්දු තීරණවල ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන්නේ අවුරුදු කීපයකට පසුවයි. අප ඇති කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසා ව්‍යාපාර කර්මාන්ත, ආයෝජන ඉදිරියට කර ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. වංචාව දූෂණය අවම කිරීම සම්බන්ධයෙනුත් වත්මන් රජය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙනවා. මෙම කටයුතු සිදු කරන විටදීද ගනු ලැබූ තීන්දු තීරණ ජනප්‍රියා ඒවා වුනේ නැහැ. නමුත් ලංකාවේ අප පුරුදු වී තිබෙන්නේ මැතිවරණයක් සමීප වන විට ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමටයි.
නමුත් මේ ගංවතුර හා ඩෙංගු වැනි ප්‍රශ්නවලදීත් අපට ජනප්‍රිය නොවන දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. පසුගිය ගංවතුර තත්ත්වයේදී අප දුටු දෙයක් තමයි අපේ රටේ යාන්ත්‍රණය, පුරවැසියෝ වගේම රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියා කලාපය එම ව්‍යසනයන්ට බොහෝ සේ බලපා තිබෙන බව. එහිදී අප දුටු දෙයක් තමයි වැරදි තැනක නිවසක් හදලා, කාණුවක් වහලා, සමහරු කුඹුරක් ගොඩ කර තමන්ගේ නිවසට යන්න පාරවල් හදා ගෙන තියෙනවා. නගරයේ එකතුවන ජලය බැස යාමට නොහැකි වන ලෙස කාණු වහලා දාලා තියෙනවා. නැතිනම් ගඟක් අවහිර කරලා, නැත්නම් පහත් බිමක් ගොඩ කර ඉඩමක් හදා ගන්නවා. එහෙමත් නැත්නම් වැරදි අනුමැතියක් අරගෙන, නැත්නම් හොරෙන් හෝ වගුරුබිම් ගොඩ කරනවා. එසේත් නැත්නම් බලය අවභාවිත කර ගොඩකිරීම් සිදු කරනවා.
මේ වැරදි වැඩ බොහොමයක් නිසා අද අප මේ සිටින තැනට පැමිණ තිබෙනවා. එහෙමනම් මේ වැරදි දැන් හරි නිවැරදි කරගන්න අවශ්‍යයි. ඩෙංගු රෝගයත් ඒ වගේ තත්ත්වයකට පත්ව තිබෙනවා. පුරවැසියන් ලෙස අප අපගේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත වන්නේ නැහැ. එසේ නම් මේ තත්ත්වය පාලනයට අපට නීති සම්පාදනය කිරීමට සිදු වෙනවා. එය සිදු නොකළහොත් මේ රට හදා ගන්න බැරි වෙනවා. කොළඹ වේගයෙන් දියුණු වෙන්න සූදානම් වුවත් දියුණු වූ පසුවත් ජලයෙන් යට වෙනවා නම් ඒ දියුණුවෙන් වැඩක් නැහැ. අප යට වෙන්නේ නැතුව දියුණු වෙන්න අවශ්‍යයයි. මහජනතාවට වගේම රාජ්‍ය නිලධාරීන්ට හිරිහැරයක් නොවන ලෙස මහජන මුදල් යොදවන්න අවශ්‍යයයි.
පැරණි දත්ත මත නව තාක්ෂණය යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධිය භාවිතා කර ඕනෑම ක්ෂේත්‍රයක තීන්දු තීරණ ගත හැකියි. එහිදී වැරදි අඩුපාඩු බොහෝ දුරට අඩු කර ගත හැකියි. කාලගුණ රටාවන්, භූ විද්‍යාත්මක දත්ත, චන්ද්‍රිකා ඡායාරූප, පාරිසරික සාධක ආදිය විශ්ලේෂණය කර ව්‍යසනයන්හි සම්භාවිතාවන් පුරෝකතනය කළ හැකියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් රතු කුරුස සංගමයත් එක්ව මේ සඳහා නායකත්වය ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.”