― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසිව්වැනි වරටත් LPL ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස්

සිව්වැනි වරටත් LPL ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස්

සිව්වැනි වරටත් LPL ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

රූසොව් සහ මෙන්ඩිස්ගේ පිතිකරණයෙන් හැඩ වුණු අවසන් තරගය ඔවුන් ජය ගත්තේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්.

පස්වැනි වරටත් සංවිධාන කෙරුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කණ්ඩායම් 5ක් මූලික වටයේ තරග 20ක් ක්‍රීඩා කළා. පල්ලෙකැලෙන් ඇරඹුණු තරගාවලිය දඹුල්ල හරහා කොළඹට පැමිණියා.

ජැෆ්නා කිංග්ස් සිව්වැනි වරටත් LPL අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ කැන්ඩි ෆැල්කන්ස් සමග දෙවැනි අවසන් පූර්ව තරගයේදී එක් ලකුණක තියුණු ජයක් ලබමින්.

ගෝල් මාර්වල්ස් අවසන් තරගයේ අසුන් කල් වේලා ඇතිවම වෙන් කර ගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදී ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් වීම විශේෂත්වයක්.

මීට පෙර අවස්ථා තුනේදීම කුසලානය දිනා ගත් ජැෆ්නා කණ්ඩායම අවසන් තරගයකදී පරාජය කරන්නට ගෝල් ක්‍රීඩකයින්⁣ අසමත් වුණා.

කාසිය වාසිය දිනා ගත් ජැෆ්නා කිංග්ස් නායක චරිත් අසලංක පන්දු යැවීම තෝරා ගත්තා.

අසලංකගේ තීරණය නිවැරදි බව වැටහුණේ පළමු කඩුලු තුන ලකුණු 24ක් තුළ බිඳ වැටෙද්දීයි.

නමුත් ටිම් සයිෆර්ට් සිව්වැනි කඩුල්ලට භානුක රාජපක්ෂ සමග ලකුණු 61ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 21කදී ලකුණු 41ක් ලබා ගනිමින්.

අර්ධ ශතකය පෙනෙන මානයේදී සයිෆර්ට් දවා ගනිමින් අසිත ප්‍රනාන්දු එම සබඳතාව බිඳ දැමුවා. භානුකගේ බාහු බලයේ වික්‍රමය ආර් ප්‍රේමදාස පිටිය සිසාර පැතිරුණේ ඉන් අනතරුවයි.

සහන් ආරච්චිගේ සමගින් පස්වැනි කඩුල්ලට පන්දු 30කින් ලකුණු 72ක සබඳතාවක් ගොඩනැඟූ භානුක ඉන් ලකුණු 54කට හිමිකම් කිව්වේ පන්දු 16ක් පමණක් වැය කරමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ ලකුණු 82ක් රැස්කළා.
පළමු පන්දුවාර 7 අවසන් වෙද්දී කඩුලු 3කට ලකුණු 24ක් රැස් කළ ගෝල් මාර්වල්ස් ක්‍රීඩකයින් අවසන් පන්දුවාර 13දී ලකුණු 160ක් රැස් කර ගත්තා.

ඒ අනුව LPL අවසන් තරගයකදී සපුරා ගත යුතු වූ ඉහළම ඉලක්කය ජැෆ්නා කණ්ඩායමට ලබා දෙමින් ගෝල් මාර්වල්ස් ඉනිම නිමා වුණේ කඩුලු 6කට ලකුණු 184ක් ලෙසයි.

තරගය යළි ආරම්භ වන තුරු ලැබුණු විවේක කාලයේදී ආර් ප්‍රේමදාස පිටියේ ඉහළ අහස ඩ්‍රෝන සංදර්ශනයකින් විචිත්‍රවත් වුණා.

පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.
නමුත් පිටෝරියස් පළමු පන්දුවෙන්ම නිස්සංක දවා ගත්⁣තේ ගාලු හදවත් අමන්දානන්දයට පත් කරමින්.

නමුත් ඒ සතුට වැඩි වේලාවක් භුක්ති විඳින්නට ඉඩ ලැබුණේ නැහැ. කුසල් මෙන්ඩිස් සමග එක්වුණු රලී රූසොව් දියත් කළේ අනුකම්පා විරහිත ප්‍රහාරයක්.

අවසන් තරගයේදී නොදැවී ශතකයක් රැස් කිරීමේ ගෞරවනීය විශිෂ්ටත්වය රූසොව් අත් කර ගත්තා. එල්පීඑල් තරගවාරයකදී ශතක දෙකක් රැස් කළ පළමු හා එකම ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා පොත් අතරට එක්වනවා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 72යි. ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිද්දී ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණේ LPL ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම සබඳතාවයි.

ඒ අනුව පන්දු 26ක් ඉතිරිව තිබියදීම කඩුලු 9කින් ගෝල් මාර්වල්ස් පරාජය කරමින් සිව්වැනි වරටත් LPL කිරුළ තමන් සතු කර ගන්නට ජැෆ්නා කිංග්ස් සමත් වුණා.

තරගයෙන් අනතුරුව ක්‍රීඩක විවේක කාමරයේදී ඔවුන් සිය ජයග්‍රහණය මෙලෙස සැමරුවා.