― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsයුද්ධයෙන් ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කර තිබෙනවා

යුද්ධයෙන් ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කර තිබෙනවා

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබෙන බවද පැවසූ ඒ මහතා ජනතාව වෙනුවෙන් යහපත්, සුරක්ෂිත පරිසරයක් සහතික කර ඇති බවද සඳහන් කළේය.

“‘සැම සුරැකි සාමකාමී දේශයක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශය ගෙවී ගිය දෙවසර තුළ ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. විශේෂයෙන් මිනිස් ජාවාරම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කටයුතු කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව කිව යුතුයි. මෑත කාලීනව වැඩි අවධානයක් යොමු වූ මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මැදිහත් වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනිමින් නාවික හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේදී පමණක් ත්‍රිවිධ හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 560 කට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝ ග්‍රෑම් 3350ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5220ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක්, මත් පෙති/කරල් 151, 000ක් සහ කසිප්පු ලීටර් 6650ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2024 වසරේ ජූලි මාසය වන විට හෙරොයින් කිලෝ ග්‍රෑම් 270ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝ ග්‍රෑම් 3640ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 12,720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150ක්, මත් පෙති/කරල් 43, 600ක් සහ කසිප්පු ලීටර් 5000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම තිස් වසරක යුද්ධය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය කිසිදා අමතක කළ නොහැකි බව සඳහන් කළ යුතුයි. එම යුද්ධයෙන් මියගිය රණ විරුවන්ට අමතරව අපට රැක ගැනීමට තවත් පිරිසක් සිටිනවා. එනම් යුද්ධයෙන් තුවාළ ලැබූ 60,000ක් පමණ වන විරුවන් අතරින් ඇඳට හෝ රෝද පුටුවට පමණක් සීමා වූ රණ විරුවන් 10,000ක් පමණ සිටිනවා. එම පිරිසට වෛද්‍යමය පුනරුත්ථාපනය ලබා දීමටත්, ජීවිත කාලය පුරා රැක බලා ගැනීමට සඳහා අත්තිඩිය, අනුරාධපුරය, කඹුරුපිටිය හා කුරුණෑගල යන ප්‍රදේශ ආශ්‍රිතව සුව සහන මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. එසේම රට වෙනුවෙන් සටන් කර වෛද්‍යමය හේතූන් මත විශ්‍රාම ගොස් සිටියදී වයස අවුරුදු 55ට පෙර මියගිය හමුදා නිලධාරීන්ගේ යැපෙන්නන්ට, එම පුද්ගලයින් ජීවත්ව සිටියදී ලබමින් සිටි වැටුප් හා දීමනා ස්ථාවර මාසික දීමනාවක් ලෙස ලබා දීමද සිදු කෙරෙනවා. ඒ අනුව යුද්ධයේදී ආබාධිත වූ සෙබළුන් සියලු දෙනාට සාධාරණය ඉටු කර තිබෙන බව කිව යුතුයි.

තවද වසර 22ක සේවය අවසන් කර විශ්‍රාම යන සෙබළුන් 3000කට වඩා වැඩි සංඛ්‍යාවකට රක්නා ලංකා ආරක්ෂක සමාගම විසින් නැවත රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. වර්තමානයේ රතු මුහුද ආශ්‍රිතව පැන නැඟී ඇති තත්ත්වය හමුවේ මුහුදු ආරක්ෂකයින් 550ක් යොමු කිරීමේ අවස්ථාවද හිමිව තිබෙනවා. ඒ සඳහා බඳවා ගැනීම් මේ වන විට සිදු කෙරෙනවා. එසේම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවමින් සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසා දී ඇති අතර සිවිල් වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමද ආරම්භ කර තිබෙනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශිත ඉසෙඩ් අගය මත පමණක් සිදු කරන බවත්, ඊට බඳවා ගෙන තිබෙන්නේ ඉතා දක්ෂ, ප්‍රවීන මෙන්ම පිළිගත් මහාචාර්යවරු පමණක් බවත් කිව යුතුයි. වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල මඟින් දෛනිකව 1000කට වැඩි බාහිර රෝගීන් සංඛ්‍යාවක් නොමිලේ ප්‍රතිකාර ලබා ගන්නා බව කිව යුතුයි.

මීට අමතරව තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය මාගේ සභාපතීත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය මඟින් මෙරට තුළ තැනැත්තන් වෙළදාමට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර 03 ක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පරිසාධන දෙවන මට්ටම තුළ පවත්වා ගෙන යාමට සමත්ව තිබෙනවා. තවද පසුගිය සමයේ අත්හිටුවා තිබූ සාම සාධක මෙහෙයුම් රාජකාරී අවස්ථා නැවත ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති අතර මේ වන විට ලෙබනනය, දකුණු සුඩානය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයෙහි 301 ක් පමණ වූ භට කණ්ඩායමක් සාම සාධක රාජකාරීන්හි යොදවා තිබෙනවා.

පසුගිය කාලයේ වඩාත් ආන්දෝලනයකට ලක්වූ මියන්මාරයේ සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීම සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමු වුනා. එහිදී පුද්ගලයන් 40 දෙනකු බේරා ගෙන මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා. ඒ අතර ඩුබායිහි තැරැව්කරුවන් හරහා තවත් පිරිසක් මෙම ප්‍රදේශයටම ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට තවත් පුද්ගලයන් 54 දෙනකු බේරා ගැනීමට තිබෙනවා. මේ සම්බන්ධව මම එරට අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් මැදිහත් වී අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස එරට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව එරට ආරක්ෂක ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

තවද යුක්‍රේන-රුසියානු යුද්ධයට මැදිව සිටින හිටපු හමුදා සෙබළුන් සම්බන්ධව ගැටළුවක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරමින් ඉන්නවා. මේ අතර හිටපු හමුදා සෙබළුන් සංචාරක වීසා බලපත්‍ර අයදුම් කර තිබේ නම් ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස අප රුසියානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙනවා. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කොට්ඨාශය යටතේ නායයෑම් අවදානම් කළමනාකරණය සඳහා වු ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ක්‍රියාත්මක වෙනවා. එමඟින් වර්තමානයේදි ශ්‍රී ලංකාවේ නායයෑමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ හඳුනා ගැනීම හා නිරීක්ෂණය, අදාළ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ අවම කිරීමේ කටයුතු යනාදිය සිදුකරනු ලබනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය සහයෝගිතාවය සහිතව ක්‍රියාත්මක ‘ස්ථායිකරණ ක්‍රමවේද මඟින් නායයෑම් අවදානම් අවම කිරීමේ’ ව්‍යාපෘතිය මඟින් නාය ස්ථාන 128ක ස්ථායීකරණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ වන විට එමඟින් නාය ස්ථාන 46ක ස්ථායීකරණ කටයුතු නිම කර තිබෙනවා. මේ අතර ජාතිය ගොඩ නැඟීමට සහාය වීමේ වගකීම දරමින් මෙරට සෞඛ්‍ය අංශයේ ඉල්ලීම මත යුද හමුදාව විසින් මාතර රෝහලේ මහල් දහයක ගොඩනැගිල්ලක් හා නාවික හමුදාව විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙනු ලබනවා. එසේම ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ මහරගම අපේක්ෂා රෝහලේ මහල් හයකින් යුත් ගොඩනැගිල්ල ඉදිරියේ සතියේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව රට පුරා විවිධ ආගමික සිද්ධස්ථාන මෙන්ම පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා සිදු කෙරෙන ඉල්ලීම් පරිදි ත්‍රිවිධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දෙමින් සිටින අතර ඉදිරියටද එම සේවය ලබා දීමට කටයුතු කරනවා. එමෙන්ම විවිධ ස්වාභාවික ව්‍යසන හමුවේ ආපදා අවම කිරීමට වහා ක්‍රියාත්මක වීම, ආපදාවන්ට ලක් වූ ජනතාව මුදාගැනීම, සහන සැලසීම, ආපදා තත්වයන්ට මුහුණදීම සඳහා පෙර සූදානම, ආපදා අවම කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීම මෙන්ම අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, ආපදාවන්ට ලක්විය හැකි අවදානම් කළාප හඳුනාගෙන එම ස්ථානවලින් ජනතාව ඉවත් කිරීම වැනි ප්‍රමුඛ කාර්යයන් අප විසින් සිදු කර තිබෙනවා. දේපළ හානි සිදු වුවත් ජීවිත හානි අවම කර ගැනීමට එමඟින් හැකි වී තිබෙනවා.”