වවුනියාව මහ රෝහලේදී උපන් විගස බිළිඳෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඊයේ (21) සවස වවුනියාව මහ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස විරෝධතාවයක නිරත වුණා.
විරෝධතාවයට එක්වූවන් පවසන්නේ වවුනියාව රෝහලේ ගර්භනි වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල මත අදාළ දරුවා මියගිය බවයි.
දරුවාගේ මව ප්‍රසූත වේදනාවෙන් කෑ ගසන විට ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොකර කටයුතු කිරීම මත දරුවා මියගොස් ඇති බවත් දරුවාගේ මරණය ඝාතනයක් වන බවත් පවසමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරතවනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ වසර ගණනාවක් දරුවන් නොමැතිව සිටි යුවළකට ලද පළමු දරුවා එලෙස මියයාම දෙමාපියන්ට දරා ගැනීමට නොහැකි වූ බවයි.
වවුනියාව මහ රෝහල තුළින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව පැවසුවද අදාළ පරීක්ෂණ පක්ෂපාතීව සිදුවන බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්ව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකළ යුතු බවයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහලේ නොපවත්වන ලෙසත් කොළඹ ජාතික රෝහලේ හෝ වෙනත් ස්ථානයක මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ලෙසත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.