තමා රටට පොරොන්දු වන්නේ ලබාදිය හැකි දේ පමණක් බවත් කළ නොහැකි දේ පොරොන්දු වී රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට සූදානම් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (29) ‘රනිල් සමඟ රට දිනවන වසර පහක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඉදිරි වසර 05 තුළද රට වෙනුවෙන් තම උපරිමය ඉටු කර තරුණ පරපුර වෙනුවෙන් ණය බරින් නිදහස් සංවර්ධිත, දියුණු රටක් උරුම කර දෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
තරුණ තරුණියන් වෙනුවෙන් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබාදෙන බවත් තරුණ තරුණයින්ට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා උදා කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
“අප සිටින්නේ ආර්ථික වශයෙන් අර්බුදකාරී යුගයකයි. 2022 වසරේ රටේ සිදු වූ අර්බුදය නිසා ආණ්ඩුව භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්
වුණේ නැහැ. මෙහි සිටින්නේ එම අභියෝගය භාරගත් පිරිසයි. අප 2023 වසර වන විට මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර තිබෙනවා. ඒ වගේම එම ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට ගෙනවිත් තිබෙනවා. අප පසුගිය වසර දෙක තුළදී මේ රටට ලබාදී ඇති ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට නම් අපනයන ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අලුත් ආර්ථික ප්‍රතිපත්ති දාලා මෙය වෙනස් කිරීමට අවශ්‍ය නැහැ. අපට ගිවිසුම් තිබෙනවා. අප මෙම ගිවිසුම් අනුව ක්‍රියා කළ යුතුයි.
ආණ්ඩුව ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මට මූලික පරමාර්ථ කිහිපයක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ යම් මුලධර්මයන් තුළයි. එම මූලධර්මයේ මූලික කාරණය වන්නේ ථෙරවාදි වෙළෙඳ ආර්ථිකයයි. පසුගිය වසර කිහිපය තුළ මේ රටේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. ඒ පිළිබඳ මට වඩා හොඳට ඔබ දන්නවා. ඒ නිසා ආර්ථිකය දියුණුවන අවස්ථාවේ දී එම වාසිය ජනතාවට ද හිමි විය යුතුයි. අපට අවශ්‍ය ජනතාවට සහන ලබාදෙමින් ඉදිරියට යාමටයි. අපි දැන් දියුණු වන විට රැකියා අවස්ථා ලැබෙනවා. නමුත් ඒ වැඩකටයුතු
වෙනුවෙන් වසර 03ක්, 04ක් ගත වෙනවා. පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබාදෙන අතර නවීන කෘෂිකර්මාන්තය සඳහා යොමු වන අයට මුදල් ලබා දෙනවා.
අද සියලුදෙනා හොරු ඇල්ලීම ගැන කථා කරනවා. නමුත් ඔවුන් කිසිවක් කරන්නේ නැහැ. හොරු අල්ලන පනත් ගෙන එන්නේ අපියි. විශේෂයෙන්ම දූෂණයට විරුද්ධව න්‍යාය පත්‍රය සකස් කර තිබෙනවා. අපි හොරු ආරක්ෂා කරනවා කියලා කාටවත් කියන්න බැහැ. කතා කරන්න ලේසියි. අනිත් අය කළේ හැමදාම කථා කරන එක විතරයි. අපි බලන්නේ 2048 දෙසයි. 2048 සියලුදෙනාටම හොඳ අනාගතයක් ලබාදීම අරමුණයි.
අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. ‘පුළුවන්’ කියන අය සමඟ අප ඉදිරියට යා යුතුයි. මෙය ඉතා පහසුයි. ඔබ ස්විචය ක්‍රියාත්මක කරන්න. අපි සූදානම් ඊළග දවසේ සිට වැඩකරන්න. රට වෙනුවෙන් අපි ඉදිරියට යමු, සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ස්ව්චි එක ක්‍රියාත්මක කරන්න.”