― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsබොරු පොරොන්දු දෙන අයට අනාගතය භාරදෙන්න එපා - ජනපති

බොරු පොරොන්දු දෙන අයට අනාගතය භාරදෙන්න එපා – ජනපති

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුම තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතු බවත් සටන් පාඨ කියමින් බොරු පොරොන්දු දෙන අයට ජනතාව තම අනාගතය භාරදිය යුතු නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) අනුරාධපුර
දිස්ත්‍රික් වෘත්තීයවේදින් සහ ව්‍යාපාරිකයන් සමඟ අනුරාධපුරයේ
පැවති හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර ජනාධිපතිවරණය ජනතාවගේ අනාගතය තීන්දු කරණ අවස්ථාවක් බවයි.

“ආර්ථිකය නැති වුණොත් රටක් නැති වෙනවා. අපි 2022 වසරේදී ඒ මට්ටමට පත් වුණා. එදා ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මම මේ රටේ වගකීම භාරගත්තා. අනෙක් නායකයන් එම කටයුත්තට අත තබන්න බය වුණා. මගේ දේශපාලන අනාගතය නැති වෙයි කිව්වා. රට නැති වුණොත් කොහොමත් දේශපාලන ආනගතය නැති වෙනවා. දේශපාලන අනාගතයක් තිබීමට නම් රට බේරගත යුතුයි. රට ගොඩනැඟීමට අප සියලුදෙනා එකතු වුණා. අද අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා.අද ක්‍රමයෙන් ජනතාවට සහන ලැබී තිබෙනවා. ලබන වසරේ තවත් ආදායම් අපට ලැබෙන නිසා බඩු මිල අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට හැකියාව තිබෙනවා. රජයේ සේවකයන්ගේ මෙන්ම පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් ඒ අනුව සිදු වෙනවා.

අපි වසර දෙකක් තුළ රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළා. නමුත් තවමත් සම්පූර්ණයෙන් ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ. ආර්ථිකය නැවත කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අප මේ වැඩපිළිවෙළ තවත් වසර 05-10ක් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා රට තුළ ඇති කරගත් ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර ගන්නවාද, නැත්නම් ආපසු වැටෙනවද කියා අප මෙවර ජනාධිපතිවරණයේ දී තීරණය කළයුතුයි. ඒ නිසා මේ මැතිවරණය ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවණයක් බව කිව යුතුයි. රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට නම් අපට තවදුරටත් ආනයන ආර්ථිකයක රැඳී ඉන්න බැහැ. අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි ගත් ණය ආපසු ගෙවීමට අපිට දැන් 2042 වසර තෙක් කාලය ලැබී තිබෙනවා. අපි අලුතින් ණය ලබා ගත්තොත් තව වසර 05-10ක් යන විට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසා අපි කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ අපි ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහන මගින් ඉදිරිපත් කර තිබෙනවා. ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කරමින් රට අපනයන ආර්ථිකයකට යොමු කිරීමේ වැඩපිළිවෙළ එහි අන්තර්ගත වෙනවා. මෙම කටයුතු සඳහා රුපියල තවත් ශක්තිමත් කර ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවිය යුතුයි.

මට අවශ්‍ය මේ රට දියුණු කිරීමයි. ඒ වගේම නායකයන් සංවාද සඳහා ගෙන ආ යුතුයි. අපි හොරු අල්ලනවා, ඔයගොල්ලෝ හොරු ඇල්ලුවේ නැහැ වගේ පරණ දේශපාලන සටන් පාඨ දැන් වලංගු නැහැ. තමන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා සෑම අපේක්ෂකයෙක්ම ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. මේ මැතිවරණය ජනතාවගේ අනාගතය තීන්දු කරණ අවස්ථාවක්. ඒ නිසා ජනතාව තම අනාගතය සටන් පාඨ කියන අයට භාර දිය යුතු නැහැ. ඔබේ අනාගතයට බලපාන කරුණක් කවුරු හෝ ප්‍රකාශ කළහොත් කරුණාකර ඒ පිළිබඳ තර්ක කර එය හොඳද, නැද්ද කියා තීරණය කරන්න. බුදුරජාණන් වහන්සේද දේශනා කළේ මෙය මගේ ධර්මය කියා පිළිගන්න එපා තර්ක කරන්න, විමසා බලන්න කියලයි. ඒ නිසා කාට හරි ඇවිත් සටන් පාඨ කියලා, බොරු කියලා යන්න දෙන්නේ නැතිව තමන්ගේ අනාගතය පිළිබඳව බුද්ධිමත්ව තීරණය කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැප්තරම්බර් 21 දා ගෑස් සිලින්ඩරයට ඡන්දය දී අපි රටේ අනාගත වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු.”